Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th August 2022 19:30:08 Hours

දිවංගත හමුදා සෙන්පති ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ 30 වන ගුණානුස්මරණ දින සැමරුම

යුද්ධ හමුදා සාමාජිකයින්, විශ්‍රාමික හමුදා සාමාජිකයින් සහ කෘතවේදීත්වයට හා ආදරයට පත් යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රශංසනීය සහ විශිෂ්ඨ ගණයේ රණවිරුවෙකු මෙන්ම සෙන්පතියෙකු වූ දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ 30 වන ගුණානුස්මරණ සංවත්සර දිනය සඳුදා (08) දිනට යෙදී තිබූ අතර ඒ වෙනුවෙන් අනුරාධපුරයේදී සැමරුම් උත්සවයක් පැවැත්විණි.

දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ පිළිරුව අභියසදී පැවති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහභාගී විය.

යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩයේ වාදනයන් මධ්‍යයේ, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් දිවංගත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පිළිරුව වෙත ප්‍රථමයෙන් පුෂ්පෝපහාර පුදකිරීමෙන් අනතුරුව පැමිණ සිටි අනෙකුත් සම්භාවනීය අමුත්තන් ද පිළිරුව වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරයන් පුදකරන ලදී. මෙම අවස්ථාව සඳහා දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ පවුලේ සාමාජිකයින්, විශ්‍රාමික රණවිරුවන්, යුද සේවා ලේකම්, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති, 21 වන සේනාංකයේ සේනාංකාධිපති, 212 වන බලසේනාවේ බලසේනාධිපති, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් ද සහභාගී වූහ.

මෙම අනුස්මරණ උත්සව අවස්ථාව සඳහා එක් වූ සිවිල් වැසියන් පිරිසක් ද දිවංගත රණවිරුවාණන් වෙත ඔවුන්ගේ ගෞරවාචාරයන් පුද කළහ.

1992 වර්ෂයේ අගෝස්තු මස 08 දින රුදුරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් අටවන ලද බිම්බෝම්බයකට ගොදුරු වී දැයෙන් සමුගත් යුද විරුවෙකු වූ ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මෙන්ම මේජර් ජෙනරල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිනන් කර්නල් එච්.ආර් ස්ටිවන්, ලුතිනන් කර්නල් ජී.එච් ආරියරත්න, ලුතිනන් කර්නල් වයි.එන් පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිතන් කර්නල් නලින් ද අල්විස්, ලුතිතන් කමාන්ඩර් සී.බී. විජේපුර සහ සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.ජේ වික්‍රමසිංහ යන අභීත යුද විරුවන් යාපනය, අරාලි තුඩුවේ රාජකාරි කටයුතුවල නිරතව සිටියදී මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිත පූජා කරනු ලැබීය.

මෙම අනුස්මරණ උත්සවයට සමාගාමීව දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙතින් ද තවත් සැමරුම් උත්සවයක් සූදානම් කර තිබිණි.