Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th June 2022 08:30:26 Hours

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ධුරයේ රාජකාරි භාරගැනීම සඳහා 66 වන සේනාංකයේ සේනාංකාධිපති සිය ධූරයෙන් නික්ම යයි

පුනරින් පිහිටි 66 වන සේනාංකයේ 10 වන සේනාංකාධිපති ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ එම සේනාංක මූලස්ථානයේ පැවති උත්සවයකදී පසුගිය සිකුරාදා (17) දින සිය ධූරයෙන් නික්ම ගියේය.

එම සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ. ඉන් අනතුරුව, එම සේනාංකයේ සරඹ භූමියේදී 20 වන ශ්‍රී ලංකා පාබල හමුදා‍වේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පුදකළහ.

ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් පසුව සමූහ ඡායාරූපයකට ද එක්විය. ධූරයෙන් නික්ම යන 66 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, එම සේනාංකයේ භටපිරිස් අමතමින් මාස 08 කට අධික කාලයක් එම ධූරයේ රාජකාරි හෙබවූ කාලසීමාව තුළ මතකයන් පිළිබඳ සිහිපත් කළ අතර, එතුමන් වෙත දැක්වූ සහයෝගය වෙනුවෙන් සියලු නිලයින් වෙත සිය කෘතඥතාවය පුදකරන ලදී. යුද්ධ හමුදාවේ කීර්තිනාමය ආරක්‍ෂා කරගනිමින් කැපවීමෙන් ඉදිරියටත් රාජකාරි ඉටුකරන ලෙස එතුමන් භටපිරිස් අමතමින් ඉල්ලා සිටියහ.

66 වන සේනාංකය යටතේ ස්ථාපිත සියළුම බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිළධාරීන් සහ සෙසුනිලයන් විසින් ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ වෙත සුබපැතුම් පිරිනැමීමට පැමිණ සිටි අතර, මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති සියළුනිල තේ පැන් සංග්‍රහයකට ද එතුමන් සහභාගී විය.

මේ වනවිට මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ධූරය සඳහා පත්කර ඇත.