Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd June 2022 20:41:20 Hours

ගජබා රෙජිමේන්තුවේ සේවාමුක්ත භඨ සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

ගජබා රෙජිමේන්තුවේ සේවාමුක්ත භඨ සංගමයේ කීර්තීමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු බදාදා (22) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවී ගජබා රෙජිමේන්තුවේ සේවාමුක්ත භඨ සංගමය වෙතින් ඉදිරියේදී සිදුකිරීමට නියමිත කාර්යභාරය සහ ඒ වෙනුවෙන් සිදුකරනු ලබන සැලසුම් පිළිබඳව සාකච්ඡා කරන ලදී.

ගජබා රෙජිමේන්තුවේ සේවාමුක්ත භඨ සංගමයේ සභාපති ලුතිනන් කර්නල් දීපාල් සුබසිංහ (විශ්‍රාමික), එම සංගමයේ ලේකම් ලුතිනන් කර්නල් සී.ජේ.එස් වීරකෝන් (විශ්‍රාමික) සහ භාණ්ඩාගාරික මේජර් සී. ද සිල්වා (විශ්‍රාමික) යන නිලධාරින් මෙම සුහද හමුව සඳහා එක්වූ අතර එහිදී, එම සංගමයේ අරමුණු සහ නව රෙජිමේන්තු අධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ ගජබා රෙජිමේන්තුවේ සේවාමුක්ත භඨ සංගමයේ අභිවෘද්ධිය උදෙසා ඉදිරියේදී කටයුතු කරනු ලබන ආකාරය පිළිබඳ සාකච්ඡා කරනු ලැබූහ.

ගජබා රෙජිමේන්තුවේ සේවාමුක්ත භඨ සංගමයේ අභිවෘද්ධිය වෙනුවෙන් සුබපැතුම් එක්කළ යුද්ධ හමුදාධිපතිතුමන් ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වශයෙන් එම සංගමය වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදෙන බවට සහතික වූ අතර, එමගින් සිදුකරනු ලබන සුභසාධන කාර්යභාරයන් තවදුරටත් ඉහළ නංවන ලෙස එම නිලධාරින් වෙත උපදෙස් ලබාදුන්හ. ගජබා රෙජිමේන්තුවේ සේවාමුක්ත භඨ සංගමය මගින් සිදුකිරීමට නියමිත අනාගත ව්‍යාපෘති සහ එමගින් ගජබා රෙජිමේන්තුවේ සාමාජිකයින්ට සලසාදිය හැකි සුබසාධන පහසුකම් පිළිබඳව සොයාබලන ලෙස ද යුද්ධ හමුදාධිපතිතුමන් එම සංගමයේ නිලධාරින් වෙත උපදෙස් ලබාදෙන ලදී.

මෙම සුහද හමුව සමාප්තියේ යුද්ධ හමුදාධිපතිතුමන් එම නිලධාරින් වෙත සමරු තිළිණ ප්‍රදානය කළ අතර, ගජබා රෙජිමේන්තුවේ සේවාමුක්ත භඨ සංගමය මගින් සිදුකිරීමට බලාපොරොත්තු වන අනාගත ව්‍යාපෘති වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සුබපැතුම් එක් කරන ලදී.