Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd June 2022 20:42:11 Hours

පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙනේ ‘සම්බුද්ධ රාජ මණ්ඩපය’ සඟසතු කර පූජාකිරීමේ අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ සුනේත්‍රා දේවි පිරිවෙනේ පිරිවේනාධිපති පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස නායක හිමිපාණන්ගේ ආරාධනයකට අනුව පැපිලියාන ඓතිහාසික ශ්‍රී සුනේත්‍රා දේවි මහා පිරිවෙන් සංකීර්ණයේ පැවති උත්සවයකට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහභාගී වූ අතර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එම අවස්ථාව සඳහා සහභාගී වූහ.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින්, කුඹුක් දැව භාවිත කරමින් එම විහාරස්ථාන පරිශ්‍රයේ නිර්මාණය කරනු ලැබූ ලී මූර්ති සහ ලී කැටයම් වලින් පරිපූර්ණ ‘සම්බුද්ධ රාජ මණ්ඩපය’ නම් දෙමහල් මණ්ඩපය මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථතිය සඳහා විවෘත කරන ලදී.

මෙම සමාරම්භක උත්සවය අස්ගිරි පාර්ශවයේ මහානායක විහාරාධිපති අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමිපාණන් සහ මල්වතු පාර්ශවයේ අනුනායක, අතිපූජ්‍ය ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී, පූජ්‍ය ආචාර්ය නියංගොඩ විජිතසිරි නායක හිමිපාණන් විසින් ආගමික වතාවත් මධ්‍යයේ ඓතිහාසික පිරිවෙන වෙත දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කර පිරිවෙන් අධ්‍යාපනය හදාරන සාමණේර භික්‍ෂූන් වහන්සේලා වෙත පූජාකරන පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම ද සිදුකෙරිණි.

ඉන් අනතුරුව, එම පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව දහම් පාසල් ගොඩනැගිල්ල යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් සිසු සිසුවියන් ගේ අයිතියට පත්කළ අතර නවීකරණය කරන ලද පිරිවෙන් ගොඩනැගිලි සංකීර්ණයේ යතුරු සාමනේර හිමිනමක් වෙත පූජාකිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් සිදුකරන ලදි. එම අවස්ථාවේදීම, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් එම පරිශ්‍රයේ ඉදිකරනු ලැබූ නව ක්‍රීඩා පිටිය ද විවෘත කළේය.

පූජ්‍ය මහාචාර්ය අභයතිස්ස නාහිමිපාණන් විසින් උත්සවය ආරම්භයේදී පිළිගැනීමේ කතාව සිදුකරමින් මෙම උතුම් කර්තව්‍යයට විවිධ අයුරින් දායක වූවන්ට සිය ප්‍රශංසාව ද පුදකරන ලදී. පැපිලියාන ප්‍රදේශයේ පැවති මෙම පුණ්‍ය උත්සව අවස්ථාව සඳහා ගල්කිස්ස වටරප්පොල බෞද්ධායතනයේ විහාරාධිපති කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, තායිවානයේ සංඝ නායක ආචාර්ය බෝදාගම චන්දිම හිමිපාණන්, දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කුලපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ආරාධිත අමුත්තන් ඇතුළු තවත් බැතිමතුන් රැසක් සහභාගී වූහ.

එකල රට එක්සේසත් කළ මහා රණශූරයෙකු ලෙස ප්‍රකට කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජතුමන් විසින් ක්‍රිස්තු වර්ෂ 1410 සිට 1415 දක්වා කාලය තුළ සිය ආදරණීය මව වන සුනේත්‍රා දේවි රැජින සිහිවීම පිණිස සුප්‍රසිද්ධ පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන ඉදිකර ඇත. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨතම අධ්‍යාපනික හා අධ්‍යාත්මික ඓතිහාසික විහාරස්ථාන සංකීර්ණයක් වන වසර 600 ක් ඉපැරණි මෙම පිරිවෙන බෞද්ධ සාහිත්‍ය ක්ෂේත්‍රයට සුවිසල් සේවාවක් ඉටුකර ඇත.