Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd January 2022 08:55:47 Hours

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නව සභාපතිතුමන් ජාතික ක්‍රීඩා තේරීම් කමිටු සභාපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරයට නැවත තේරී පත් වූ සුරේෂ් සුබ්‍රමනියම් මහතා පසුගිය සිකුරාදා (21) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙම හමුවේදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති ධූරයට තේරී පත්වූ සුරේෂ් සුබ්‍රමනියම් මහතා වෙත සිය සුබපැතුම් එක් කරමින් ඔලිම්පික් ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ නිරතව සිටින ඔලිම්පික් ක්‍රීඩකයින් සහ නවක අපේක්ෂකයින් සඳහා මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රය තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කළේය.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ සුරේෂ් සුබ්‍රමනියම් මහතා, මලල ක්‍රීඩා ප්‍රවීණයන්ට එන්නත් ලබාදීමෙන් ඔලිම්පික් කමිටුවට සහ ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රීඩකයින්ට කොවිඩ්-19 වෛරසයේදී ලබා දුන් සහයෝගය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ට සිය ස්තුතිය පුද කළේය.

වැඩිදුර අදහස් දැක්වූ එතුමන් යම් යම් අවස්ථාවල එන්නත්කරණය කඩිනම් නොකළේනම් බොහෝ ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වලට සහභාගී වීමට නොහැකි වීමට ද බොහෝ ඉඩකඩ තිබු බව සුබ්‍රමනියම් මහතා පැවසීය.

තවද, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස යුද, නාවික හා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී කරවීම සඳහා දක්වන දායකත්වය වෙනුවෙන් ද සුබ්‍රමනියම් මහතා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තුතිය පුද කළේය.

එම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් සුරේෂ් සුබ්‍රමනියම් මහතාට සහ ඔලිම්පික් කමිටුවට මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයට ද රටේ ක්‍රීඩාවේ දියුණුව උදෙසා යුද, නාවික හා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ලබා දෙන සහයෝගය අගය කරමින් ස්තුතිය පුද කළේය.

සුහද හමුව අවසානයේ සුරේෂ් සුබ්‍රමනියම් මහතා විසින් ඔලිම්පික් ලාංඡණය ඇතුලත් සමරු තිළිණයක් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ප්‍රදානය කරන ලදී. පසුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සුරේෂ් සුබ්‍රමනියම් මහතා යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණිම අගය කරමින් සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

මෙම අවස්ථාවට ඔලිම්පික් කමිටුවේ තවත් නිලධාරියෙක් ද සුරේෂ් සුබ්‍රමනියම් මහතා සමඟ එක්ව සිටියේය.