Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th January 2022 10:11:35 Hours

ආරක්‍ෂක සේවා විද්‍යාලයේ 15 වන සංවත්සරයට සමගාමීව ආගමික වැඩසටහන් මාලාවක්

කොළඹ 02 පිහිටි ආරක්‍ෂක සේවා විද්‍යාලයේ 15 වන සංවත්සරයට සමගාමීව එම විද්‍යාලයේ සිසු සිසුවියන්, ගුරුභවතුන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු සියලු රට වැසියන්ට ආශිර්වාද එක්කරමින් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පසුගිය බදාදා (19) දින සන්ධ්‍යාවේ පවත්වන ලදී.

කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ ආරාධනයකට අනුව එම අවස්ථාවට ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගි වුහ.

මෙම පුණ්‍යෝත්සවයේදී මහා සංඝරත්නය විසින් කෙටි අනුශාසනාවක් පවත්වමින් මෙම උත්සවයේ වැදගත්කම පිළිබඳ පැහැදිලි කරන ලදි.

ආරක්‍ෂක සේවා විද්‍යාලයේ විදුහල්පතිතුමන් ප්‍රමුඛ එම විද්‍යාලයේ බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් සංවිධානය කරන ලද මෙම පිංකමේ සමාරම්භය සනිටුහන් කරමින් වර්ණවත් පෙරහැරකින් මහා සංඝරත්නය පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවූහ.

එම අවස්ථාවට ආරක්‍ෂක සේවා විද්‍යාලයේ සිසු සිසුවියන්, දෙමාපියන්, කලාකරුවන් සහ එම විද්‍යාලයේ පරිපාලන කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ද එක්වූහ.

සංවත්සර දිනයට සමගාමීව පැවති ආගමික වතාවත්හි සමාප්තිය සනිටුහන් කරමින් අද (20) දින පෙරවරුවේ මහා සංඝරත්නය උදෙසා හීල් දානය පූජා කරන ලදි.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින්, දෙමව්පියන් සහ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් ද එක්වූහ.

කොළඹ කොම්පඤ්ඤ වීදියේ රයිෆල් ග්‍රීන් ප්‍රදේශයේ වර්ෂ 1860 දී ඉදිකරන ලද ලංකා රයිෆල් රෙජිමේන්තුවේ රෙජිමේන්තු මූලස්ථානයේ කොටසක් ලෙස ස්ථාපිත රයිෆල් බැරැක්ක ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර වර්ෂ 2007 ජනවාරි මස 17 දින ආරක්‍ෂක සේවා විද්‍යාලය ස්ථාපිත කරන ලදී.