Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2022 21:05:00 Hours

ඓතිහාසික දීඝවාපි පුදබිමේ ඉදිකළ නව ධාතු මන්දීරය සඟසතු කර පූජා කෙරේ

බුදුරජාණන් වහන්සේගේ වැඩමවීමෙන් පූජනීයත්වයට පත් සොලොස්මස්ථානයන්ගෙන් එකක් වන නැගෙනහිර පළාතේ පිහිටි පෞරාණික ‘දිඝවාපිය’ විහාරස්ථානය මේ වනවිට ‘දීඝවාපි අරුණ භාරකාර අරමුදල’ යටතේ නව මුහුණුවරක් ගනිමින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් පවතී.

එම පුදබිම තුල අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව ධාතු මන්දිරය ආරක්‍ෂක ලේකම් මෙන්ම පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ නැගෙනහිර පළාත් සභාපති ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් දුරුතු පුර පසළොස්වක පොහෝ දින (17) පැවති පූජෝත්සවයකදී විවෘත කරන ලදී.

බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තැන්පත් කර තිබූ මෙම සර්වඥ ධාතූන් වහන්සේලා බෞද්ධ ආගමික වතාවත් වලට අනුකූලව පැවති උත්සවයකදී මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනාවන් මධ්‍යයේ අභිනවයෙන් ඉදිකළ ‘ධාතු මන්දීරය’ තුල තැන්පත් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක ලේකම් සහ ‘පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ නැගෙනහිර පළාත් සභාපති ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සමඟින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මැතිතුමන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් හා අම්පාර හිටපු දිසාපති ඩී.එම්.එල්. බණ්ඩාරනායක, අම්පාර දිස්ත්‍රික් ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති, ගුවන් හමුදාධිපති, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මැතිණිය ඇතුළු තවත් ආරාධිතයන් රැසක් එක්වූහ.

පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මලේගොඩ නන්ද නාහිමිපාණන් ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා කිහිපනමකගේ ආශිර්වාද මධ්‍යයේ ආරක්‍ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන් විසින් එම විහාරස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත නව බුදු මැදුර සඳහා සුබ මොහොතින් මුල්ගල් තැබීම ද මෙම අවස්ථාවට සමගාමීව සිදුකෙරිණි.

නා උයන ආරාමයේ විහාරාධිපති පූජ්‍ය අඟුල්ගමුවේ ආරියනන්ද හිමිපාණන් සහ අම්පාර මහාවාපි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කිරිඳිවැල සෝමරතන හිමිපාණන් විසින් මෙම පුණ්‍යෝත්සවයේදී අනුශාසනාවන් සිදුකරන ලදී.

ඓතිහාසික දීඝවාපි විහාරස්ථාන පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ඇති අවශ්‍යතාවයන් පිළිබඳ එම විහාරස්ථානයේ මහනායක පූජ්‍ය මහඔය සෝභිත හිමිපාණන් විසින් ඒ පිළිබඳ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් දැනුවත් කිරීමෙන් පසු මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදී.

ඒ අනුව, ආරක්‍ෂක ලේකම්තුමන්ගේ මඟපෙන්වීම යටතේ ‘දීඝවාපි අරුණ භාරකාර අරමුදල’ යටතේ ආරම්භ කළ ප්‍රතිසංස්කරණ කටයුතු ලොව පුරා වෙසෙන බෞද්ධ දානපතියන්ගේ නොමසුරු දායකත්වය මත කඩිනමින් සිදුකරමින් පවතී. මහා සංඝරත්නය වෙත දානය පූජා කිරීමත් සමඟින් මෙම පුණ්‍ය උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.

මෙම ඓතිහාසික අවස්ථාව සඳහා වැඩමවා වදාළ භික්‍ෂූන් වහන්සේලා අතර දීඝවාපිය විහාරස්ථානයේ මහනායක මහඔය සෝභිත හිමිපාණන්, ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති හා බෞද්ධයා නාලිකාවේ සභාපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාන හිමිපාණන් සහ අම්පාර මහාවාපි විහාරස්ථානයේ විහාරාධිපති හා අම්පාර දිස්ත්‍රික් සංඝ සභාවේ ලේඛාධිකාරී පූජ්‍ය කිරිඳිවැල සෝමරතන හිමිපාණන් ද වූහ.

ඊට අමතරව, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි, නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්, රාජ්‍ය නිලධාරින් සහ බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්වූහ.