Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2021 11:34:57 Hours

දකුණු සූඩානයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදාවේ තවත් එක් කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව යයි

එක්සත් ජාතිනීගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ 8 වන බලඇණියේ පළමු කණ්ඩායම බදාදා (29) දින උදෑසන දකුණු සුඩානය බලා දිවයිනෙන් පිටත්ව ගියහ.

දිවයිනෙන් පිටත්ව යන එම කණ්ඩායම වෙත සුබපැතුම් පිරිනැමීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණියේය.  

ඒ අනුව, නිලධාරීන් 11 ක් සහ සෙසුනිලයින් 22 දෙදෙනෙකුගෙන් සමන්විත දකුණු සුඩානයේ සාමසාධක රාජකාරී සඳහා දිවයිනෙන් පිටත්ව යන 8 වන බලඇණියේ පළමු කණ්ඩායම ගුවන් තොටුපල පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුද කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ට සිය සුබපැතුම් එක් කළේය. එසේම එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීවලදී ඉහළ විනයක් පවත්වා ගනිමින් සිය රාජකාරි ඉතා වගකීමෙන් සහ කාර්යක්‍ෂමව ඉටුකිරීමේ අවශ්‍යතාවයද යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී අවධාරණය කළේය.

දිවයිනෙන් පිටත්ව යන ​භටපිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ගේ සුදානම සහ අනෙකුත් කරුණු පිළිබඳව විමසා සිටියහ. යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ගුවන්තොටුපල පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගත්හ.

ශල්‍ය විශේෂඥ වෛද්‍ය බ්‍රිගේඩියර් කලන විජේවර්ධන සමගින් විශේෂඥ වෛද්‍යවරුන් 4 දෙනෙකු සහ වෛද්‍ය නිලධාරින් 13 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 66 දෙනෙකුගෙන් සමන්විත දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලේ සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 8 වන බළඇණියට ලුතිතන් කර්නල් එන්.එම්. නිෆ්ලාර් විසින් අණදීම සිදුකරනු ලබන අතර මේජර් ඩී.වයි.එස්. කුමාර දෙවන අණදෙන නිලධාරි ලෙස කටයුතු කරයි.

මෙම කණ්ඩායමට වාට්ටු භාර හෙදියන්, හෙදියන්, සත්කාර හෙදියන් (නාරිවේදය), ශල්‍යාගාර තාක්‍ෂණ ශිල්පීන්, භෞතික චිකිත්සකවේදීන් (DPM), විකිරණ (Xray) වේදීන්, විකිරණ (Xray) තාක්‍ෂණික ශිල්පීන්, දන්ත සහායකයන්, දන්ත කාර්මිකයන්, සහයක වෛද්‍ය නිලධාරින්, ඖෂධවේදීන්, විද්‍යාගාර කාර්මිකයන්, විද්‍යාගාර තාක්‍ෂණ විද්‍යාඥයින්, සන්නිවේදන තාක්‍ෂණීක ශිල්පීන්, සනීපාරක්‍ෂක සහයකයන්, පරිපාලන ලිපිකරුවන්, සූපවේදීන්, ගිලන් රථ රියදුරන්, සනීපාරක්‍ෂක රාජකාරි නියුතු පුද්ගලයින් සහ මෘත ශරීරාගාර සහායකයන්ගෙන් සමන්විතය. එම පිරිසට ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සෙබළුන් 40 ක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ සෙබළුන් 02 ක්, ඉංජිනේරු සේවා බලකායේ සෙබළුන් 02 ක්, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සෙබළුන් 04 ක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය නියෝජනය කරමින් එක් සෙබළෙකු සහ නාවික හමුදා නිලධාරියෙකු ඇතුළත් වේ.

මේ වනවිට දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා යොදවා සිටින 7 බළඇණියේ පළමු කණ්ඩායම දිවයිට පැමිණි පසු 8 වන බළඇණියේ දෙවන කණ්ඩායම 2022 ජනවාරි මස 31 දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබන දකුණු සුඩානය පදනම් කරගත් මෙම රෝහල තුළ ශල්‍යාගාරයක්, ප්‍රසූතිකාගාරයක්, දැඩි සත්කාර ඒකකයක්, හදිසි ප්‍රතිකාර අංශයක්, බාහිර රෝගී අංශයක්, දන්ත ශල්‍යාගාරයක්, ඖෂධාගාරයක්, වෛද්‍ය ගබඩාවක්, විකිරණ විද්‍යා අංශයක්, සායනික රසායනාගාරයක්, ඊසීජී කාමරයක් ඇතුළු ද්විතීයික සත්කාර වෛද්‍ය සේවාවන් සඳහා අවශ්‍ය අංගයන්ගෙන් සමන්විතය. ඊට විෂබීජහරණ ඒකකයක්, ජෛව වෛද්‍ය ඉංජිනේරු අංශයක්, වෛද්‍ය අපද්‍රව්‍ය බැහැර කිරීමේ අංශයක්, වායූ සමනය කළ මෘත ශරීරාගාරයක්, හුදකලා වාට්ටුවක් සහ ලොන්ඩරි පහසුකම් සහිත වාට්ටු, වායූසමනය කරන ලද ගිලන්රථ පහසුකම් මෙන්ම ගුවන් මඟින් රෝගීන් ප්‍රවාහනය කිරිම සඳහා සියලු වෛද්‍ය පහසුකම් සහිත ගුවන් යානා පහසුකම් වලින්ද යුක්තය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බලඇණි 7 ක් මේ වනවිට මෙම රෝහලේ රාජකාරි ඉටුකර ඇති අතර ඔවුන් සියලුදෙනා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලධාරීන්ගේ ප්‍රශංසාවට ලක්ව ඇත.

දිවයිනෙන් පිටත්ව යන භඨ කණ්ඩයට සුබපැතුම් එක්කිරීම සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් විකුම් ලියනගේ, අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂවරු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වුහ.