Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2021 21:29:54 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් මුලිකත්වයෙන් කිලිනොච්චියේ සිවිල් වැසියන් වෙනුවෙන් ඉදිකල තවත් නිවාස තුනක් නිවාසලාභින්ට

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ භටපිරිස් පසුගිය දින කිහිපය තුළ එම ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා ප්‍රජා ව්‍යාපෘති කිහිපයක් දියත් කරන ලදී.

ඒ අනුව, අනුග්‍රාහකභවතුන්ගෙන් ලද මුල්‍යමය දායකත්වය මත රත්නපුරම් ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි එම්. විජේන්ද්‍ර මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සිය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් නව නිවසක් ඉදිකරදෙන ලදී.

නව නිවස ප්‍රතිලාභින් වෙත භාරදීමේ උත්සව අවස්ථාවේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් අතර වියලි සලාක පාර්සල් 20 ක් භටපිරිස් විසින් බෙදාදෙන ලදී.

එසේම, විශ්වමඩු, පුත්තඩි ප්‍රදේශයේ පදිංචි සම්මුගනාදන් තිලීපන් මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් තවත් නව නිවසක් පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රාහකත්වය මත ඉදිකිරීම සඳහා 572 වන බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සිය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය ලබාදුන්හ.

එමෙන්ම, 573 වන බලසේනාව යටතේ ස්ථාපිත 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහය ඇතිව මලයාලපුරම් ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි ජේගනාදන් පත්මසේලන් මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙන ලදී.

එම නිවස ප්‍රතිලාභින් වෙත භාරදීමේ උත්සව අවස්ථාවේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් අතර වියලි සලාක පාර්සල් 20 ක් භටපිරිස් විසින් බෙදාදෙන ලදී.

අභිනවයෙන් ඉදිකල නව නිවාසවල යතුරු නිවාසලාභින් වෙත භාරදීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය සහභාගි විය. මෙම උත්සව සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.

මෙම අවස්ථාවට 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන, ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් වසන්ත පාලම්කුඹුර, 571 වන බලසේනාවේ බලසේනාධිපති බිගේඩියර් චමින්ද ගම්ලත්, 572 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.