Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2021 08:48:53 Hours

වෛරසය ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව අවම කරගැනීම සඳහා සහයෝගය ලබාදුන් සියලුදෙනා, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානිගේ පැසසුමට

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී තවත් එක් සාකච්ඡාවක් ඉකුත් සිකුරාදා (22) දින පැවැත්විණි. මෙම සාකච්ඡාවට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්යසාධක බලකායේ අනෙකුත් සාමාජිකයින් ද එක්වූහ.

වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව මෙන්ම මරණ අනුපාතය අවම කරගැනීමට හැකිවී ඇති බව මෙම සාකච්ඡාව අතරතුරදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දුන්නේය. බස්නාහිර පළාතෙන් පමණක් දිනකට වෛරසය ආසාදිතයින් 50 – 70 ක් වාර්තා වන අතර අනෙකුත් දිස්ත්‍රික්කවල දිනකට වෛරසය ආසාදිතයින් 10 කට වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා වේ.

සංචරණ සීමාවන් පැනවීම හේතුවෙන් වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව අවම කරගැනීමට හැකි වු නමුත් පසුගිය මාසයට සාපේක්ෂව මෙරටට පැමිණෙන ගුවන් යානා සහ මගීන්ගේ සංඛ්‍යාව වැඩිවීමක් දක්නට ලැබුණද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව මහජනතාව දැනුවත් වීම අත්‍යවශ්‍ය වන බව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එහිදි අවධාරණය කළේය.

අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ නිවෙස්ගත රෝගීන් කළමනාකරණ පද්ධතිය පවත්වාගෙන යමින් කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අවම කරගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු සෞඛ්‍ය බලධාරින් ලබාදුන් දායකත්වය වෙනුවෙන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සියලුදෙනාට මෙහිදි ස්තූතිය පුද කළේය.

තවද, 1906 ක්‍ෂණික ඇමතුම් අංකය ඇතුළු වෛරසය පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා පවත්වාගෙන යනු ලබන දුරකථන උපදේශන සේවාවන් පිළිබඳව ද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි මෙහිදි පැසසුමට ලක් කළේය. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මහජනතාවට විනෝදසාවාදය සඳහා ඉඩහසර සැලසෙන බව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදි පැවසීය.

අන්තර් පළාත් සංචාරණ සීමාවන් ඔක්තෝබර් මස 31 දින ඉවත් කිරීමට නියමිත නමුත් ඒ පිළිබඳ අවධානයක් යොමුකල යුතු බවත් අද පැවැති කොවිඩ්-19 ජනාධිපති කාර්ය සාධක බලකා සාකච්ඡාවේදී අතිගරු ජනාධිපතිතුමා පැවසීය. ඒ අතරම, නොවැම්බර් මස 1 දා සිට කොවිඩ්-19 වෛරසය හමුවේ ක්‍රියාකරන ඉදිරිපෙල සාමාජිකයින්ට ප්‍රමුඛත්වයක් මත තවත් විශේෂ එන්නත් මාත්‍රාවක් ලබාදෙනු ඇත. එසේම, ඔක්තෝබර් මස 25 දින සිට පළාත් අතර දුම්රිය සේවා ආරම්භ කරන බව ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එහිදි පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ තවදුරටත් සාකච්ඡා කර යෝජිත පාසල් නැවත විවෘත කිරීම හා ඉදිරියේදී 5 ශ්‍රේණිය දක්වා පාසල් නැවත ආරම්භ කිරීම, දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන, ජනගහනයෙන් 59% ක් එන්නත්කර අවසන් කිරිම, විදේශීය ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම සහ සංචාරකයින්ගේ පැමිණීම පිළිබඳව ද මෙහිදි සාකච්ඡාවට බදුන් විය. මෙම ජාතික අවශ්‍යතාවයට ලබාදුන් දායකත්වය පිළිබඳ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සියලුදෙනාට ස්තූතිය පුද කළේය.

මෙම සාකච්ඡාව අතරතුරදී, වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ අනෙකුත් පාර්ශවකරුවන් ද සිය අදහස් දැක්වූහ.