Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th October 2021 20:00:40 Hours

ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ජූඩෝ තරඟාවලියට සහභාගි වන යුද්ධ හමුදා ක්‍රීඩකයන්ට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභපැතුම්

ප්‍රංශයේ පැරීස් නුවරදී ඔක්තෝබර් මස 28 දින සිට නොවැම්බර් මස 4 දින දක්වා පැවැත්වීමට නියමිත ලෝක හමුදා ජූඩෝ ශූරතාවලිය - 2021 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජූඩෝ කමිටුව විසින් යුද්ධ හමුදා ජූඩෝ ක්‍රීඩකයින් 9 දෙනෙකු නම් කර ඇත.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදා ජූඩෝ ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගීවීමට නියමිතව ඇත.

තරඟාවලිය සඳහා ප්‍රංශය වෙත පිටත්ව යාමට පෙර යුද්ධ හමුදා ජූඩෝ ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ පුහුණුකරුවන්, කළමනාකරුවන් සහ පරිපාලන නිලධාරීන් ඉකුත් සිකුරාදා (22) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් තරඟාවලිය සඳහා සහභාගිවන ක්‍රීඩකයින් වෙත ඉදිරි උපදෙස් ලබාදෙමින් සිය සුභපැතුම් එක් කළහ.

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය උපදෙස් නිවැරදිව පිළිපදිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ඒම සඳහා අවශ්‍ය උපරිම කැපකිරිම සිදුකරන ලෙස එම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් ක්‍රීඩකයින්ට ප්‍රකාශ කර සිටියේය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජූඩෝ කමිටුවේ සභාපති මෙන්ම යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ, යුද්ධ හමුදා ජූඩෝ කමිටුවේ උප සභාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් තුසිත හෙට්ටිආරච්චි ඇතුළු තවත් නිලධාරීන් සහභාගී වූහ.