Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th October 2021 05:07:37 Hours

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) සහ එම මැතිණිය ඇතුළු පස්දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිස සිකුරාදා (15) දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරයක නිරත වූහ.

ත්‍රිකුණාමලය, චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර වෙත සපැමිණි ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී සහ එම මැතිණිය ඇතුළු නියෝජිත පිරිස, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය සහ ධනුෂා වීරසූරිය මැතිණිය විසින් උණුසුම් අයුරින් පිළිගත්හ.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමඟ පැවැති සටන් කාලසීමාව තුළ ඉන්දීය සාමසාධක හමුදාවේ අණදෙන නිලධාරියෙකු ලෙස කටයුතු කල ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන වර්ෂ 1987 දී ඉන්දියානු සාම සාධක හමුදා සාමාජිකයින් ශ්‍රී ලංකාවේ රාජකාරි කළ ප්‍රදේශවල අතීත මතකයන් යලි සිහිපත් කරමින් ත්‍රිකුණාමලය 4 කණුව සහ හිටපු ආණුඩුකාරවරයාගේ බංගලාව පිහිටි ප්‍රදේශයේ සංචාරය කළහ.

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් නික්මයාමට ප්‍රථම නිලාවේලි බීච් හෝටලයට පැමිණියේය. එහිදී, ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදුකල සංචාරය සිහිවනු වස් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සමගින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම සංචාරය අවසානයේ ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.