Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th October 2021 12:00:03 Hours

ඉන්දිය යුද්ධ හමුදා ප්‍රධානි දින පහක සංචාරයක් සඳහා දිවයිනට

(මාධ්‍ය නිවේදනය)

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) පීවීඑස්එම්, ඒවීඑස්එම්, එස්එම්, වීඑස්එම්, ඒඩීසී දින පහක නිල සංචාරයක් සඳහා අඟහරුවාදා (12) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මෙම සංචාරය අතරතුර ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙන්ම නාවික සහ ගුවන් හමුදාධිපතිවරුන් හමුවීමට නියමිතය.

එමෙන්ම, ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි බ්‍රහස්පතින්දා (14) සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තුවේ 38 වන සංවත්සර උත්සවය සඳහා සහභාගී වීමට නියමිත අතර එහිදී එතුමන් වෙත සම්මාන පෙළපාලියක ආචාරය ද පිරිනැමෙනු ඇත. තවද, ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි විසින් වාහන පැදවීම් සමාකෘතීන් (Simulators) අනුරාධපුර ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා පුහුණු පාසල වෙත පරිත්‍යාග කිරීමට නියමිතය. එමෙන්ම, එතුමන් මාදුරුඔය සටන් පුහුණු පාසලේ සංචාරයක නිරත වෙමින් ‘මිත්‍ර ශක්ති’ යුද පුහුණු අභ්‍යාසයේ අවසන් අභ්‍යාසය ද නිරීක්‍ෂණය කිරීමට නියමිතය.

මෙම ඉන්දියානු දූත පිරිසට ඉන්දියානු යුද්ධ හමුදා භාර්යාවන්ගේ සුභසාධක සංගමයේ සභාපතිනි වීනා නාරාවන (Mrs Veena Naravane) මැතිණිය, ඉන්දියානු යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අණදෙන සහ මේජර් ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් රජීව් තාපර් (Major General Rajeev Thapar), හමුදා සහයක මේජර් ජෙනරාල් වික්රාන්ත් නයික් (Major General Vikrant Naik) සහ කර්නල් මන්දීප් සිං දිල්ලොන් (Colonel Mandeep Singh Dhillon ) අයත් වන අතර එම පිරිස ජය ශ්‍රී මහ බෝධිය සහ තවත් ආගමික ස්ථාන කිහිපයක් වැඳපුදා ගැනීමට ද නියමිතය.

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන සංචාරය අතරතුරදී යුද්ධ හමුදා මූලස්ථානයේ බදාදා (13) දින සංචාරය කිරීමට නියමිතව ඇති අතර එහිදි හමුදා සම්ප්‍රදායානූකූල වර්ණවත් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර මුරයක් ද එතුමන් වෙත පිරිනැමේ. පසුව යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමග සුහඳ සාකච්ඡාවකද නිරත වීමට නියමිතය.

තවද, ආරක්‍ෂක අමාත්‍යංශයේදී එදිනම ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හමුවීමටද නියමිතය.

ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි ශ්‍රී ලංකාවට පැමිණිමෙන් අනතුරුව යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරය කිරීමට ප්‍රථම ශ්‍රී ජයවර්ධනපුර ඉන්දියානු සාම සාධක හමුදා රණවිරුවන්ගේ රණවිරු ස්මාරකය වෙන පුෂ්පෝපහාර දැක්වීමට නියමිතය.

තවද, ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ සහ මණ්ඩලික විද්‍යාලයේ සංචාරයකට එක්වෙමින් එහි හමුදා උපාධි අපේක්‍ෂකයන්ද හමුවනු ඇත.

දිවයිනට පැමිණෙන ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන සහ වීනා නාරාවන මැතිණිය ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සුජීවා නෙල්සන් මැතිණිය විසින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී හරසරින් පිළිගැනේ.

තවද, වීනා නාරාවන මැතිණිය වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් විශේෂ පිළිගැනීම් සහ වැඩසටහනක්ද සංවිධානය කර ඇත.  

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි පිළිබද කෙටි ජීව දත්ත තොරතුරු පහතින් දැක්වේ:

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) පීවීඑස්එම්, ඒවීඑස්එම්, එස්එම්, වීඑස්එම්, ඒඩීසී පූනේ ජනා ප්‍රබෝධිනී ප්‍රශාල විද්‍යාලයෙන් (Jnana Prabodhini Prashala, Pune) අධ්‍යාපනය හදාරා ඇත. ජාතික ආරක්‍ෂක විද්‍යාපීඨයෙන් සහ ඉන්දිය යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව හැදැරු හෙතෙම වර්ෂ 1980 ජූනි මාසයේදී සික් පාබල හමුදා රෙජිමේන්තුවට අනුයුක්ත කරන ලදී. තවද, වෙලින්ටන්හි ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සහ මෞහි උසස් අණ දෙන පාඨමාලාව සාර්ථකව හදාරා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර, ආරක්‍ෂක හා කළමනාකරණ අධ්‍යනය පිළිබඳ එම්.ෆිල් (M.Phil) උපාධියක් ලබා ඇති හෙතෙම ආචාර්ය උපාධිය හදාරමින් සිටී.

දශක හතරකට ආසන්න කීර්තිමත් යුද්ධ හමුදා වෘත්තිය ජීවිතය තුළ, ඊසානදිග, ජම්මු සහ කාශ්මීරයේ සාමය සඳහා ක්‍රියාත්මක කරනු ලැබු ක්‍රියාන්විත වෙනුවෙන් ප්‍රධාන තනතුරු රැසක් හොඹවා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකාවේ ඉන්දියානු සාම සාධක හමුදා රාජකාරී කටයුතු සඳහා ද දායකත්වය ලබාදී තිබේ. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ඉතාමත් අභියෝගාත්මක අවස්ථාවන්වල ද විවිධ ප්‍රදේශවල සේවය කරමින් අතිවිශාල අත්දැකීම් ප්‍රමාණයකින් ක්‍රියාන්විතයන් සඳහා දායකත්වය දක්වන ලදී. රාෂ්ට්‍රියා රයිෆල් බලඇණියේ අණදෙන නිලධාරි, අතිරේක පාබල බලසේනාවේ බලසේනාධිපති සහ ඇසෑම් රයිෆල්ස් (උතුර) පරීක්‍ෂක ජෙනරාල් වරයා ලෙසද කටයුතු කරන ලදී. තවද එතුමන්ගේ සේවා කාලය තුළ පාබල බලසේනාවේ බලසේනා මේජර්, මියන්මාරයේ යැංගන්හි ආරක්‍ෂක උපදේසක, යුද හමුදා‍විද්‍යාලයේ උපදේශක මෙන්ම නව දිල්ලියේ යුද්ධ හමුදා ඒකාබද්ධ ආරක්‍ෂක මූලස්ථානයේ රාජකාරි කරන ලදී.

වර්ෂ 2017 දී ජනරජ දින පෙළපාළියට අනදුන් මෙතුමන් එවකට දිල්ලි ප්‍රදේශයේ සේනාංකාධිපති ධූරය හොඹවන ලදී. කොල්කටා හි ෂිම්ලා සහ නැගෙනහිර ආඥාපති ධූරය මෙන්ම යුද්ධ හමුදා පුහුණු අණදෙන නිලධාරි මෙන්ම ඉන්දීය යුද්ධ හමුදා නියෝජ්‍ය ප්‍රධානි ධූරය හෙඹවූ මෙතුමන් වර්ෂ 2019 දෙසැම්බර් මස 31 දින ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානී බවට පත්විය. (නිමාව)