Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th October 2021 15:06:32 Hours

යුද්ධ හමුදා සංවත්සර දිනයේ ගජබා රෙජිමේන්තු පරිශ්‍රයේදී අතිගරු ජනාධිපති අතීත ආවර්ජනයක

72 වන යුද්ධ හමුදා සංවත්සර දිනය සැමරුම් උත්සවය මෙවර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදි ඉරිදා (10) දින පැවැත්වූ අතර එම අවස්ථාවට අමරණීය සුවිශේෂිත්වයක් මෙන්ම ගෞරවයක් එක් කරමින් ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දක්‍ෂ රණශුරයෙකු වූ වත්මන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

යුද්ධ හමුදා සැමරුම් දිනය සමරනු වස් ගජබා රෙජිමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන වත්මන් ජනාධිපතිතුමන් 2019 නොවැම්බර් මස ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවෙන්ම බිහි වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපතිවරයෙකු සමඟින් යුද්ධ හමුදා දිනයට සහභාගී වන පළමු අවස්ථාව වශයෙන් මෙවර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පැවැත්වෙන යුද්ධ හමුදා දින සැමරුම් උත්සවය ඉතිහාසගත වනු ඇත. තවද, මෙලෙස වාර්ථාගත වන අවස්ථාවක අතිගරු ජනාධිපතිතුමන්ගේ පදවිප්‍රාප්තියෙන් පසු එතුමන් ගජබා රෙජිමේන්තු මූලස්ථානය වෙත පැමිණිමත් මෙම අවස්ථාවට සුවිශේෂිත්වයක් එක් කරයි. එම අවස්ථාවේදී අභිමානවත් ගජබා රෙජිමේන්තුවෙන් බිහිවූ එවකට 1 වන ගජබා රෙජිමේන්තුවේ විධායක අධිකාරි ලෙස කටයුතු කළ වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රෙජිමේන්තු මූලස්ථානය වෙත පැමිණි එවකට 1 වන ගජබා රෙජිමේන්තුවේ පළමුවන අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළ වත්මන් අතිගරු ජනාධිපතිතුමන් මෙම සැමරුම් උත්සවය සඳහා කැටුව යන ලදී.

රජරට රයිෆල් බලකාය අන්තර්ග්‍රහණය කිරීමෙන් පසුව ලුතිතන් කර්නල් විජය විමලරත්න 1983 ඔක්තෝබර් මස 14 දින ගජබා රෙජිමේන්තුවේ පළමු බලඇණිය ස්ථාපිත කළ අතර එවකට එම බලඇණියේ දෙවන අණදෙන නිලධාරි ලෙස වත්මන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පත්කෙරිණි. එම තරුණ නිලධාරියා 1972 මැයි මස 26 දින අධිකාරියට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත අනුයුක්ත කෙරිණි. ඉන් අනතුරුව, පාබල ඒකකයක නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට ඇතුළත් වූ එතුමන් පසුව ගජබා රෙජිමේන්තුවේ පුරෝගාමී නිලධාරියෙකු ලෙස එම රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි.

සිය ප්‍රථම ක්‍රියාන්විතය වශයෙන්, 1985 වසරේ මහවිලච්චිය පොලිස් ස්ථානය වෙත ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයේදී ගජබා රෙජිමේන්තුවේ නිර්භීත තරුණ නිලධාරියෙකු වශයෙන් සිය බලඇණියේ භටපිරිස් සමඟ එක්ව එම ත්‍රස්තවාදීන් පළවාහැරීමට කටයුතු කරන ලදී. එසේම, මූතූර් හමුදා කඳවුර ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවාගැනීම ද එතුමන්ගේ අණදීම යටතේ සිදුකෙරිණි. එතුමන්ගේ බලඇණියේ භටපිරිස් සමඟ එක්ව ත්‍රස්තවාදී ග්‍රහණයට හසු වූ හමුදා කඳවුර වෙත ළඟාවීම සඳහා කිලෝමීටර් 35 කට වැඩි දුරක් ඝන කැලෑවට ඇතුළු වී ඇවිද යාමට එතුමන්ට සිදු වූ අතර ත්‍රස්තවාදීන්ට මුහුණ දී කඳවුරේ ආරක්‍ෂාව තහවුරු කරමින් මිත්‍ර හමුදාවන් සමඟ ජයග්‍රාහකයෙකු ලෙස එක්වීමට එතුමන් සමත් විය.

සාලියපුර ගජබා රෙජිමේන්තුවේ ස්ථාපිත 1 වන ගජබා රෙජිමේන්තු පවුලේ සාමාජිකයෙකු වශයෙන් 1987 වසරේ වඩමාරච්චි මුදාගැනීම සඳහා දියත් කළ ‘ලිබරේෂන් මෙහෙයුම’ (Operation Liberation) හමුදා මෙහෙයුමේ සාර්ථකත්වය වෙනුවෙන් ද එතුමන් මූලිකත්වය ගෙන කටයුතු කළේය. එමෙන්ම, එවකට කීර්තිමත් යුද ප්‍රවීණයෙකු වූ මේජර් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 1990 වසරේදී සියළු සැපයුම් මාර්ග අවහිරව තිබූ මොහොතක යාපනය කොටුව ත්‍රස්තවාදී ග්‍රහණයට නතුව තිබූ අවස්ථාවේ යාපනය කොටුව ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීම සඳහා දියත් කළ ‘ත්‍රිවිධ බලය’ මෙහෙයුම දියත් කිරීමට ද එතුමන් මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී. එම මෙහෙයුම සඳහා එතුමන් සිදුකළ කැපකිරීම සහ දැක්වූ නිර්භිතභාවය හේතුවෙන් රණවික්‍රම පදක්කම සහ රණශුර පදක්කම තෙවරක් එතුමන් වෙත පුදනු ලැබීය. එමෙන්ම, සතුරා ඉදිරියේ නිර්භයව සටන්වැද මවුබිම එක්සේසත් කිරීම සඳහා එතුමන් දැක්වූ දායකත්වය උසස් නිලධාරින්ගේ පැසසුමට ද බඳුන් විය.

ලුතිතන් කර්නල් ගෝඨාභය රාජපක්‍ෂ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක පීඨයේ නියෝජ්‍ය සේනාවිධායක ධුරය හොබවනු ලැබූ අතර අනතුරුව 1992 වසරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගියේය.

මෙම සුවිශේෂී චරිතය නැවත මෙරටට පැමිණී වකවානුව තුළ රුදුරු ත්‍රස්තවාදීන් අවිනිශ්චිතතාවයන් ඇති කරමින් දරුණු ත්‍රස්ත ප්‍රහාර එල්ල කරමින් අපේ රට දැඩි අසීරුතාවයකට පත්කළ අවස්ථාවක 2005 නොවැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ රාජකාරි ආරම්භ කළේය. ‘සාමය සඳහා වූ යුද්ධය’ අවසන් වෙමින් තිබියදී කෙතරම් සාකච්ඡා පැවැත්වුවද ත්‍රස්තවාදීන් සමඟ පැවති සාකච්ඡා එකින් එක අසාර්ථක වීමත් සමඟ ආරක්‍ෂක ලේකම්වරයාට ජීවිත තර්ජනාත්මක අභියෝගයන්ට ද මුහුණ දීමට සිදු විය. 2006 දෙසැම්බර් මස එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් පුපුරණ ද්‍රව්‍ය පිරවූ රථයක් එවකට ආරක්‍ෂක ලේකම් ධුරයේ රාජකාරි කළ මෙතුමන්ගේ රථයේ ගැටීමට සලස්වා එතුමන් ඝාතනය කිරීමට උත්සහ කළ අතර එම ප්‍රයත්න ව්‍යාර්ථ වි එතුමන්ගේ ජීවිතය ආරක්‍ෂා විය. සාමය උදාකරලීම වෙනුවෙන් එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක කරන ලද ක්‍රියාන්විතය ඉතා සූක්‍ෂමව සැලසුම් කළ එතුමන් ත්‍රස්තවාදය මුලිනුපුටා දමා 2009 මැයි මස මෙරටට සාමය උදාකරදීම වෙනුවෙන් පුරෝගාමීව කටයුතු කරන ලදී.

ලොව දරුණුම ත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව සටන්වැද එම සටන ජයග්‍රහණය කිරීම වෙනුවෙන් එතුමන් දැක්වූ ඉමහත් මෙහෙවර අගයමින් කොළඹ විශ්වවිද්‍යාලය වෙතින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් වෙත ගෞරව ආචාර්ය උපාධියක්ද පිරිනැමිණි. කුරිරු යුද්ධය අවසන් වීමෙන් පසුව ජාත්‍යන්තරයේ අවධානයට ලක් වූ සුවිශේෂි මෙහෙවරක් වන ත්‍රස්තවාදීන් විසින් වැළලූ බිම් බෝම්බ ඉවත් කිරීම, ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම, නැවත පදිංචි කිරීම සහ පුනරුත්ථාපන කටයුතු ද එතුමන්ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරමින් ජාතික ආරක්‍ෂාව මෙන්ම බුද්ධි මෙහෙයුම් ඵලදායි ලෙස දියත් කරනු ලැබීය.

එමෙන්ම, ආබාධිත රණවිරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් සිය නිවෙස් තුළ පහසුවෙන් සිදුකළ නොහැකි වූ චිකිත්සක සත්කාර අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා සුවපහසු වාතාවරණයක් සකස් කරදීමට ද හෙතෙම කටයුතු කරන ලදී. එමෙන්ම, සියළුම ශ්‍රී ලංකාවාසීන්ගේ හෙට දවස වෙනුවෙන් සිය ශාරීරාංග පූජා කළ විරෝදාර රණවිරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ‘මිහිඳු සෙත් මැඳුර’ සහ ‘අභිමංසල’ වැනි සුවතා මධ්‍යස්ථාන ඉදිකිරීමටද අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.

එතුමන්ගේ දූරදර්ශී දැක්ම මත සිදුකරනු ලැබූ ව්‍යාපෘති අතර නාගරික සංවර්ධන වැඩසටහන්, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල ශික්‍ෂණ රෝහල, කොළඹ යුද්ධ හමුදා රෝහල සහ ශ්‍රී ජයවර්ධනපුර, බත්තරමුල්ලේ පිහිටා ඇති ත්‍රිවිධ හමුදා මූලස්ථානය ස්ථාපනය කිරීම වැනි ව්‍යාපෘති කැපී පෙනේ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් ගජබා රෙජිමේන්තු පවුලේ සාමාජිකයෙකු ලෙස යුද්ධ හමුදා දින සැමරුම් උත්සවයට සහභාගී වී ත්‍රිවිධ හමුදාවේ කාර්යභාරය කෙරෙහි එතුමන් දක්වන ඇගයීම, පිළිගැනීම සහ ‘කළ නොහැක්කක් නොමැත’ යන ආදර්ශ පාඨය කෙරෙහි විශ්වාසය තබන භටපිරිස් කෙරෙහි හෙතෙම දක්වන අඛණ්ඩ විශ්වාසය නැවත වරක් තහවුරු කරනු ලබයි.