Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th October 2021 15:28:52 Hours

නුදුරේදි විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන හිටපු ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ඉකුත් බ්‍රහස්පතින්දා (07) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙම සුහද හමුවේදී, අතීත මතකයන් පිළිබඳ සිහිපත් කරමින් සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ගේ අනාගත සැලසුම් පිළිබඳ විමසූ අතර අතීත මතකයන් ද යලි සිහිපත් කරන ලදී. තවද, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙන් බිහි වූ අභිමානවත් රණවිරුවෙකු ලෙස දශක තුනකට අධික සේවා කාලය තුළ මුහුණදුන් අතීත සිදුවීම් පිළිබඳව ද මෙම සුහද හමුවේදී සාකච්ඡාවට බඳුන්වූහ.

එමෙන්ම, ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025‘ ආදී වැඩසටහන් ප්‍රවර්ධනය සඳහා එතුමන් දැක්වූ දායකත්වය මෙම සාකච්ඡාවේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක් වූවේය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සිය රාජකාරී කාල සීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම පිළිබදව සිය කෘතඥතාවය පුද කළේය. මෙම සුහද හමුව අවසානයේ, මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.

නිර්භීතකම සහ වීරත්වය පිළිඹිබු කරමින් එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමට එතුමන් දැක්වූ දායකත්වය වෙනුවෙන් රණවික‍්‍රම පදක්කම ඇතුළු පදක්කම් කිහිපයක් ද මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර වෙත පි‍ළිගන්වන ලදී. තවද, රණසේවා පදක්කම සහ උත්තම සේවා පදක්කමට අමතරව නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂිය මෙහෙයුම් පදක්කම සහ උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම ආදී පදක්කම් ද එතුමන් වෙත පිරිනමන ලදී.

6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ත්‍රස්තවාදීන්ට එරෙහි දශක තුනක කුරිරු යුද්ධයේදී 1 වන, 9 වන සහ 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ඒකකවල අණදෙන නිලධාරි ලෙස ද කටයුතු කරන ලදී. තවද, වසර 8 ක කාලයක් තුළ 522, 573, 144 සහ 142 යන බලසේනාවන්හී බලසේනාධිපති ධූරයන් ද හොබවනු ලැබීය.