Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th October 2021 18:00:23 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ 47 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් විකුම් ලියනගේ පසුගිය අඟහරුවාදා (05) දින කොස්ගම, සීතාවක ප්‍රදේශයේ ස්ථාපිත එම බලසේනා මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි ආරම්භ කළේය.

එම පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් විකුම් ලියනගේ වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමත් සමඟ එම උත්සවයේ ආරම්භය සනිටුහන් විය. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ක්‍රිස්ටි ජයසිංහ විසින් නව සේනාවිධායක උණුසුම් අයුරින් පිළිගත්තේය.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් විකුම් ලියනගේ සිය නව කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා සාමාජිකයින් අමතමින් මේජර් ජෙනරල් විකුම් ලියනගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ දැක්ම පිළිබඳ පැහැදිලි කළ අතර එම බලසේනාවේ මීට පෙර සේවය කළ සේනාවිධායකවරුන් සහ සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සේවය ඇගයීමට ලක් කළේය. එමෙන්ම, ‘ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ ට අනුකූලව ස්වෙච්ඡා බලසේනාව තුලින් ඉටුකරනු ලබන කාර්යභාරය නිසි ආකාරව ඉටුකිරීම සඳහා සියළුම සාමාජිකයින්ගේ සහයෝගය බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව, නව ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් මේජර් ජෙනරල් විකුම් ලියනගේ කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.

මෙම උත්සවයේ සියලු කටයුතු කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සියළුම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.