Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd October 2021 22:46:53 Hours

දියකාවා යුද අභ්‍යාසයේ අවසන් ප්‍රහාරය කුඹුරුපිඩ්ඩි වෙරළ තීරයේදී

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 11 වන වරටත් සංවිධානය කරනු ලැබු ‘දියකාවා ඒකාබද්ධ යුද අභ්‍යාසයේ’ අවසන් ප්‍රහාරය විශේෂ ක්‍රියාන්විත හා යුධ උපක්‍රම භාවිතා කරමින් සැප්තැම්බර් මස (29) දින මධ්‍යහනේ ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේදී දියත් කෙරිණි.

මෙම යුධ අභ්‍යාසයේ අවසන් ප්‍රහාරය දැකබලා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, බංගලාදේශ හා මාලදිවයින මහ කොමසාරිස්වරුන් සහ ආරක්‍ෂක උපදේශකයින් මෙන්ම නාවික හා ගුවන් හමුදාපතිවරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

මෙම යුද අභ්‍යාසයේදී විශේෂ බලකායේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබළුන් නාවික හා ගුවන් හමුදා මෙන්ම විදේශීය හමුදා සෙබළුන් සමඟ එක්ව යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ සහය ඇතිව මුහුදු වෙරළ ආසන්නයේ ඉදිකර තිබු සතුරු කදවුර වෙත අවසන් ප්‍රහාරය සාර්ථකව දියත් කෙරිණි. එහිදි පැවැති තියුණු සටනකින් අනතුරුව සතුරන් විසින් සිර කරගෙන සිටි සිවිල් වැසියන් මුදාගැනීමට සෙබළුන් සමත් වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘දියකාවා ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය’ අනාගත පරපුර වෙනුවෙන් මෙන්ම විදේශීය හමුදා සාමාජිකයින් හා සහභාගීවන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ දැනුම වැඩිදියුණු කිරීමට සහ යුධමය අත්දැකීම් හුවමාරු කරගැනීමට අතිශය වැදගත් පුහුණු අභ්‍යාසයක් ලෙස වසර ගණනාවක් පුරා අඛණ්ඩව මෙම ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසය පවත්වනු ලබයි.

මෙවර පැවැත්වු ‘දියකාවා ඒකාබද්ධ යුද අභ්‍යාසය’ සඳහා සන්නද්ධ බලසේනාවේ හා යාන්ත්‍රික පාබල බලසේනාවේ සෙබළුන් ඇතුළුව යුද, නාවික සහ ගුවන් හමුදා සහ විදේශීය හමුදා සෙබළුන් 2486 දෙනෙකු සහභාගි වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද උපක්‍රම තවදුරටත් පුළුල් කිරිමේ අරමුණින් 2021 සැප්තැම්බර් මස 3 දින මින්නේරියේදී ආරම්භ කරනු ලැබු දියකාවා යුද අභ්‍යාසයේ නිරික්‍ෂකයින් වශයෙන් පවතින කොවිඩ්-19 සෙඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඉන්දියාව, නේපාලය, මාලදිවයින, පාකිස්තානය සහ බංග්ලාදේශය වැනි විදේශ රටවල් නියෝජනය කරමින් විදේශිය හමුදා නිලධාරීන් 37 දෙනෙකු ද සහභාගි වූහ.

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවේ ප්‍රධානතම ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද පුහුණු අභ්‍යාසයක් වන දියකාවා යුද අභ්‍යාසයේ මෙවර යුද අභ්‍යාස අධ්‍යක්‍ෂ ලෙස අතිරේක ප්‍රහාරක බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ කටයුතු කළ අතර නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලෙස මේජර් ජෙනරල් අනිල් සමරසිංහ කටයුතු කළහ.

සතුරු කඳවුරට ප්‍රහාර එල්ල කිරීමේ අවසන් යුද අභ්‍යාසයේදී කමාන්ඩෝ සෙබළුන් විශේෂ බලකා කිමිදුම්කරුවන් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ එක්ව යුද සැලසුම් භාවිතා කරමින් නාවික හමුදාවේ ප්‍රහාරක යාත්‍රාවල සහ ගුවන් හමුදාවේ ජෙට් යානාවල සහය ඇතිව සතුරු කඳවුර විමර්ශනය කර බුද්ධි තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව සතුරු කඳවුරු වෙත අවසන් ප්‍රහාර එල්ල කර එහි බලය අත්පත් කරගන්නා ලදී.

“ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉතාමත් විනයගරුක හා මනා පුහුණුවක් ලබා ඇති සංවිධානයක් ලෙස හදුන්වාදිය හැකි බවත් ජාතිය මුහුණ දෙන සෑම හදිසි අවස්ථාවකටම සහය දැක්වීමට ද සුදුසුම සංවිධානය ලෙසත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හදුන්වා දිය හැක.” යනුවෙන් මෙහිදි සියලුදෙනා අමතමින් පැවසූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සියලු සාර්ථකත්වයන්ට හේතුව විනයගරුක පුහුණුව බවත් අණ, පාලනය සහ සන්නිවේදනයේ තිරසාරභාවය තුළින් ජාතියේ යටිතල පහසුකම් සංවර්ධනය, ප්‍රජා සුභසාධනය සහ හදිසි අවස්ථාවන්වලදී යුද්ධ හමුදාව දක්වන අසීමිත කැපකිරීම පිළිබදවත් සිහිපත් කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විදේශ පුහුණු පාඨමාලා තුළින් ඔවුන්ගේ පුහුණු හැකියාවන් සහ වෘත්තීමය නිපුණත්වය වර්ධනය කරගන්නා බවත් සඳහන් කළ යුද්ධ හමුදාධිපතිතුමන් ඊට උදාහරණ වශයෙන් ‘හර්මාටන්’, සහ ‘දියකාවා’, මෙන්ම ‘මිත්‍රශක්ති’ යුද පුහුණු අභ්‍යාසයන් පිළිබදවත් සඳහන් කළේය.

විදේශීය හමුදා නිලධාරීන් සහ නිරීක්‍ෂකයින්ගේ දැනුම වර්ධනය කිරීම සහ ඔවුන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව කෙරෙහි දක්වන ගෞරවය පිළිබඳවත් සිහිපත් කළ යුද්ධ හමුදාධිපතිතුමන් දියකාවා යුද අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ වෙත සිය ස්තූතිය පුද කළේය.

මෙම යුද අභ්‍යාසයේ අවසන් ප්‍රහාරය දැකබලා ගැනීම සඳහා මහා කොමසාරිස්වරුන්, ආරක්‍ෂක උපදේශකයින්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් එම්.ඩි.ඒ.පී. පායෝ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මෙන්ම ආඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක මේජර් ජෙනරල් සේන වඩුගේ, ගුවන් හමුදා ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් ඒ.ජේ. අමරසිංහ, ආරක්‍ෂක සේනා ආඥාපතිවරු, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.