Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th September 2021 15:54:36 Hours

යුද්ධ හමුදා භටපිරිස්වල ඉංජිනේරු හා තාක්‍ෂණික දැනුම යොදාගනිමින් නැගෙනහිර පළාතේ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය නැගෙනහිර යටතේ ස්ථාපිත 22, 23 හා 24 වන සේනාංක යටතේ සේවයේ නියුතු භටපිරිස්වල තාක්‍ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය යොදාගනිමින් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය ගේ සහ ඒ යටතේ ස්ථාපිත සේනාංකවල සේනාංකාධිපතිවරුන්ගේ උපදෙස් මත ත්‍රිකුණාමලය, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල බෞද්ධ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම මත නැගෙනහිර පළාතේ ප්‍රතිසංස්කරණ කිරීම සඳහා ඉල්ලුම් කර ඇති විහාරස්ථාන ප්‍රමුඛත්වයක් මත ප්‍රතිසංස්කරණය කිරීමට ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් කටයුතු කරන ලදී.

ඒ අනුව, 22 වන සේනාංකයේ භටපිරිස් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පච්චනූර් ප්‍රදේශයේ පිහිටි කොට්ටියාරාම රජමහා විහාරය, ගොමරන්කඩවල ප්‍රදේශයේ පිහිටි ලුණුගල රජමහා විහාරය හා ලංකාරාම රජමහා විහාරය, කුච්චිවේලි ප්‍රදේශයේ පිහිටි සමුද්‍රගිරි පිච්චමලේ රජමහා විහාරය සහ තිරියාය ප්‍රදේශයේ පිහිටි ගිරිගඩුසෑය ආදි විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කරන ලදී.  

එසේම, 23 වන සේනාංකයේ භටපිරිස් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රදේශයේ පිහිටි කළුකැලේ ශ්‍රී සුගතාරාම විහාරස්ථානය, බකමුණ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්ථානය, ගල්ලෑල්ල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී අග්‍රබෝධි විහාරස්ථානය, සෝමාවතිය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ශාන්ති නිකේතනාරාමය, ගිරිතලේ පිහිටි ඌනගල වෙහෙර රජමහා විහාරස්ථානය, මයිලංකරච්චි ශ්‍රී මහිනද්‍රාරාම විහාරස්ථානය සහ පුලතිස්සගම ශ්‍රී පැරකුම් මහා පිරිවෙන ප්‍රතිසංස්කරණය කරන ලදී.

තවද, 24 වන සේනාංකයේ භටපිරිස් අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර අරංතලාව විහාරය, පොල්වත්ත ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ඕවගිරි රජමහා විහාරය, හිගුරණ ප්‍රදේශයේ පිහිටි උත්තර ජයමහ විහාරස්ථානය, අම්පාර ප්‍රදේශයේ ඓතිහාසික දීඝවාපී රජමහා විහාරස්ථානය, ලාහුගල ප්‍රදේශයේ පිහිටි කොටවෙහෙර දීගලක විහාරස්ථානය සහ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන ප්‍රතිසංස්කරණය කරන ලදී.

ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර විසින් දියත් කරනු ලබන සිවිල් හා හමුදා සහයෝගීතා ව්‍යාපෘතිවල තවත් අදියරක් ලෙස ප්‍රදේශයේ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ මෙම ව්‍යාපෘතින් එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත බලසේනා සහ බළඇණිවල අණදෙන නිලධාරින්ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාවට නැංවිණි.