Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th September 2021 11:25:04 Hours

මොස්කව් හිදී යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයා සහ ගුවන් හමුදා මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩිකාව ලෝකඩ පදක්කම් දිනාගනි

58 වන ලෝක ආරක්‍ෂක සේවා ශූරතා මුෂ්ටි ප්‍රහාර තරඟාවලිය 2021 සැප්තැම්බර් මස 16 දින සිට 2021 සැප්තැම්බර් මස 27 වන දින දක්වා මොස්කව් පිහිටි Patriot Exhibition and Convention Center හිදි පැවැත්විණි.

රටවල් 36 ක් නියෝජනය කරමින් මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 230 කට අධික ප්‍රමාණයක සහභාගීත්වයෙන් පැවති 58 වන ලෝක ආරක්‍ෂක සේවා ශූරතා මුෂ්ටි ප්‍රහාර තරඟාවලිය පිරිමි බර පන්ති 10 ක් සහ කාන්තා බර පන්ති 5 ක් යටතේ පවත්වන ලදී.

මෙම තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ලාන්ස් කෝප්‍රල් සජීව නුවන් කිලෝග්‍රෑම් 49 බර පන්තිය යටතේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්විය.

එම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ත්‍රිවිධ හමුදා හා සිවිල් මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් ඇතුළු නියෝජතයින් 23 දෙනෙකු සහභාගි වූහ. තරඟාවලියේ කාන්තා අංශයේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගයානි කලුආරච්චි සමත්විය.

ලෝකඩ පදක්කම්ලාභී ලාන්ස් කෝප්‍රල් සජීව නුවන් ද මීට පෙර පැවති ජාතික තරඟාවලි කිහිපයකටම සහභාගි වී පදක්කම් හිමිකරගත් අතර ලේටන් කුසලාන තරඟාවලිය 2019 දී රන් පදක්කමක්, ක්ලිෆර්ඩ් කුසලාන තරඟාවලිය 2019 දී රන් පදක්කමක්, ජාතික ශූරතා තරඟාවලිය 2019 දී රන් පදක්කමක් ඇතුළුව ජාත්‍යන්තර තරඟාවලි කිහිපයකටම සහභාගි වී ඇත.

තවද, මෙම ක්‍රීඩකයාගේ විශිෂ්ඨ දක්‍ෂතා ශ්‍රී ලංකා මුෂ්ටි ප්‍රහාරක සංගමය මගින් ඇගයීමෙන් අනතුරුව සයිබීරියාවේදී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා මුෂ්ටි ප්‍රහාර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලබන එකම මුෂ්ටි ප්‍රහාර ක්‍රීඩකයා ලෙස තෝරාපත් කරගෙන ඇත.

මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ගේ ප්‍රධානත්වයෙන් යුත් රුසියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා නියෝජිත පිරිස ජාත්‍යන්තර මුෂ්ටි ප්‍රහාරක සංගමයේ ජාත්‍යන්තර විනිසුරු බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්.කේ. ලියනවඩු, පුහුණුකරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත විය.

58 වන ලෝක මුෂ්ටි ප්‍රහාරක තරඟාවලියේ ආරම්භක දේශනය රුසියානු සමුහාණ්ඩුවේ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය යුද්ධ හමුදා ජෙනරල් නිකොලායි පන්කොව් (General of the Army Nikolai Pankov) විසින් සිදුකල අතර පිළිගැනීමේ දේශනය රුසියානු සමුහාණ්ඩුවේ ආරක්‍ෂක අමාත්‍ය රුසියාවේ වීරයෙකු වන යුද්ධ හමුදා ජෙනරල් සර්ජි ෂොයිගු (General of the Army Sergei Shoigu) විසින් සිදුකළේය.