Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd September 2021 23:00:24 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අභිනවයෙන් ඉදිකළ නවීන පහසුකම් වලින් සමන්විත කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය විවෘත කෙරේ

බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නවීන පහසුකම් වලින් යුත් මහල් පහකින් සමන්විත නව කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය අද (23) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී හමුදා ගෞරවාචාර මධ්‍යයේ මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

රෙජිමේන්තු මුලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් චමින්ද තිබ්බොටුගේ විසින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී කාන්තා සෙබලියන් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වු යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගත්තේය.

මෙම අවස්ථාවට වැඩමවා වඳාල මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල නව කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සමරුඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා විවෘත කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිනියන් සහ කාන්තා සෙබලියන්ට එකම ස්ථානයකින් රාජකාරි සහ පරිපාලනමය ගැටළු කඩිනමින් විසඳාගැනීම සඳහා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ මෙම නව කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය නිලධාරි ඉදිරි ප්‍රගමන අංශයක්, ගබඩා කාමරයක්, අංශ ආයතන කාර්යාල සහ ස්වෙච්ඡා කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයකින් සමන්විත වේ.

යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟින් අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිලි සංකීර්ණය නිරීක්‍ෂණය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සහ යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි පද්මා පෙරේරා මැතිණිය මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූපයකටද එක්වූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එක්වීම පිළිබඳ සිය කෘතඥතාවය පුද කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා විසින් එහිදි විශේෂ සමරු තිළිණයක් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමුවේය.

යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයෙන් නික්මයාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වු පොතේ සමරු සටහනක් ද තැබීය.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම උත්සවය සඳහා යුද්ධ හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, යුධෝපකරණ මාස්ටර් ජෙනරල් මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිනියන්, නිලධාරිනියන් සහ කාන්තා සෙබලියන් සහභාගී වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, හිටපු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජානක රත්නායක, වත්මන් මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් චමින්ද තිබ්බොටුගේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකාවන්ගේ නොපසුබට උත්සහය මත නවීන පහසුකම් වලින් සමන්විත නව කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා මූල්‍ය ප්‍රතිපාදන සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ මූල්‍ය ප්‍රතිපාදන යොදාගනිමින් 6 වන (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් කෙටි කාලයක් තුළ ඉදිකරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා මීට මාස කිහිපයකට ප්‍රථම රෙජිමේන්තු මූලස්ථානයේ සිදුකළ සංචාරයක් අතරතුර ලබාදුන් උපදෙස් මත නවීන පහසුකම් වලින් සමන්විත මෙම කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය ප්‍රමුඛත්වය මත ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.

දිවංගත යුද්ධ හමුදාධිපති ජෙනරල් ජේ.ඊ.ඩී. පෙරේරා ගේ සංකල්පයකට අනුව ‘සවි බල සිත් - අවි බල දෙත්’ ආදර්ශ පාඨය පෙරදැරිව වර්ෂ 1979 සැප්තැම්බර් මස 01 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය ස්ථාපිත කරන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය මේ වනවිට නිත්‍ය බලඇණි දෙකකින් සහ ස්වේච්ඡා බලඇණි පහකින් සමන්විත වේ. දුරකථන ක්‍රියාකරු, පරිඝණක ක්‍රියාකරු, හෙද සහ ලිපිකරු යන වෘත්තීන්වල නිරතව සිටි යුද්ධ හමුදා සෙබලුන් ක්‍රියාන්විත රාජකාරීන් සඳහා මුදවාහැර කාන්තා සෙබලියන් එම රාජකාරිවලට යෙදවීමේ අරමුණින් කාන්තා බලකාය ස්ථාපිත කරන ලදී. කෙසේ වෙතත්, පසුකාලීනව යුද පිටියේ රාජකාරි සඳහා ද කාන්තා සෙබලියන් සිය දායකත්වය දක්වන ලදී.