Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th September 2021 14:00:50 Hours

යුද්ධ හමුදා ජංගම එන්නත්කරණ වැඩසටහනේදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු සියය ඉක්මවූ මිත්තනියක් සඳහා එන්නත් ලබාදෙයි

යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික එන්නත්කරණ වැඩසටහනට ඓතිහාසික වැදගත්කමක් එක්කරමින් යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායමක් විසින් ප්‍රථම වරට වයස අවුරුදු 102 ක් වයසැති මිනුවන්ගොඩ, කලවාන ප්‍රදේශයේ පදිංචි වයි.ඒ. සීලවති මහත්මිය වෙත සයිනොෆාම් එන්නත ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින ලබාදෙන ලදී.

ඒ අනුව, යුද්ධ හමුදා ජංගම කොවිඩ් -19 එන්නත්කරණ බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් එක්ව බස්නාහිර පළාත පදනම් කරගනිමින් වයෝවෘද්ධ, අසනීප සහිත, ආබාධිත හා විවිධ අසනීපවලින් පෙලෙන පුද්ගලයින් සඳහා එන්නත ලබාදීම සිදුකරනු ලබයි. මෙමඟින් සමාජයේ දිළිඳු පුරවැසියන්ට සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ප්‍රතිලාභ සැලසෙන බැවින් මෙම ව්‍යාපෘතිය බොහෝදෙනාගේ ප්‍රශංසාවට පාත්‍ර වී ඇත.

වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ප්‍රමුඛත්වයක් ලබාදෙමින් අතිගරු ජනාධිපතිතුමන්ගේ දැක්මට අනුව ක්‍රියාත්මක කරනු ලබන ජාතික එන්නත්කරණ වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයි.ඒ. සීලවති මහත්මිය මීට මාස දෙකකට ප්‍රථම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙතින් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති නමුත් ඇයගේ වයස හේතුවෙන් දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ඇයගේ පවුලේ ඥාතින් විසින් යුද්ධ හමුදා ජංගම එන්නත්කරණ කණ්ඩායම වෙත දැනුම්දීමෙන් අනතුරුව ඇයව එන්නත්කරණය කිරීමට කටයුතු කරන ලදී.

බස්නාහි‍ර පළාත තුල එක් එක් ප්‍රදේශවල ජංගම එන්නත්කරණ රථ සහ ගිලන් රථ ස්ථානගත කිරීම තවදුරටත් පුළුල් කර ඇති බැවින් මෙම ජංගම එන්නත්කරණ සේවාව අවශ්‍ය අයවළුන් 1906 හෝ 0112860002 දුරකථන අංක ඔස්සේ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ලියාපදිංචි වීමෙන් මෙම එන්නත්කරණ පහසුකම තම නිවසේදීම සිදුකරගැනීමේ හැකියාව පවතී.