Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd September 2021 17:00:10 Hours

ඉංජිනේරු සේවා බලකායේ අභිනවයෙන් ඉදිකල සියලු පහසුකම්වලින් සමන්විත නිලධාරී නිවස්නය විවෘත කෙරේ

පනාගොඩ පිහිටි ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල මහල් 5 කින් සමන්විත නව නිලධාරී නිවස්න සංකීර්ණය අද (02) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී විවෘත කෙරිණි.

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දිගුකාලීනව පැවති අවශ්‍යතාවයක් සපුරාලමින් සියලු පහසුකම් වලින් සමන්විත ‘Home of Creators’ නිලධාරී නිවස්නය එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අලංකාරවත් අයුරින් ඉදිකරන ලදී.

නව නිලධාරි නිවස්නය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත කඳවුරු මුරයේ ගෞරවාචාරය (drive-past Guard Turnout) ප්‍රධාන දොරටුව අභියසදී පිරිනැමුවේය.

ඉන් පසුව, ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් ආඥාපති මේජර් ජෙනරල් රත්නසිරි ගනේගොඩ සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජිව සෙනරත් යාපා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු විසින් මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගත්තේය. පසුව, රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදු ඉංජිනේරු සේවා බලකායේ විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් පුෂ්පෝපහාර පුද කළේය.

මෙම අවස්ථාවට වැඩමවා වඳාල මහා සංඝරත්නය සෙත්පිරිත් සඡ්ඣායනා කර ආශිර්වාද එක් කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් සමගින් ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක වැඩමවා වඳාල මහා සංඝරත්නය වෙත අටපිරිකර පූජා කළහ. ඉන්අනතුරුව, අභිනවයෙන් ඉදිකල නිලධාරි නිවස්නය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් සමරුඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා විවෘත කරන ලදී.

නව නිලධාරී නිවස්නය තුල සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වු යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබු සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. උත්සවය අවසානයේ විශේෂ අමුත්තන් සඳහා වු පොතේ සමරු සටහනක් තැබු යුද්ධ හමුදාධිපතිතුමන් වෙත කර්නල් සේනාවිධායක විසින් විශේෂ සමරු තිළිණයක් ද මෙහිදි පිරිනැමුවේය.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම උත්සවය සඳහා ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත කුමාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.