Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd September 2021 17:30:10 Hours

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොලගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ කළමනාකරණ මණ්ඩලයේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා සමාජයේ සභාපති මේජර් ජෙනරල් වසන්ත මාදොල සිකුරාදා (03) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

වසර 35 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සේවය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් වසන්ත මාදොල 2021 සැප්තැම්බර් මස 07 වන දින යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් වසන්ත මාදොල ගේ සේවය පැසසුමට ලක්කරමින් සුහද පිළිසඳරක නිරතවු යුද්ධ හමුදාධිපතිතුමන් සිය අතීත මතකයන් සිහිපත් කරමින් විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අනාගත අපේක්‍ෂාවන් පිළිබඳ අදහස් හුවමාරු කරගත්හ.

වර්ෂ 1986 ජනවාරි මස 16 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වු මේජර් ජෙනරල් වසන්ත මාදොල භඨකාර්ය සම්පාදක අණසක මුලස්ථානයේ ආඥාපති ධුරය ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ උසස් තනතුරු රැසක් හෙබවු අතර 2021 ජනවාරි මස 14 වන දින යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්විය.

යුද්ධ හමුදා දිවියෙන් නික්මයන මේජර් ජෙනරල් වසන්ත මාදොල සිය රාජකාරී කාල සීමාව තුළ යුද්ධ හමුදාපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම පිළිබදව සිය කෘතඥතාවය එහිදි පුද කළේය. මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සේවය පැසසුමට ලක් කරමින් විශේෂ සමරුතිළිණයක් ද ප්‍රදානය කළේය.