Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd September 2021 04:30:39 Hours

මියගිය ගිලන් රථ රියදුරුගේ දියණියට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ශිෂ්‍යත්වයක්

රත්නපුර මහ රෝහලේ ගිලන්රථ රියදුරෙකු ලෙස පුරා මාස 18 කට අධික කාලයක් කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සහ ඒ ආශ්‍රිත කටයුතු සඳහා මහත් මෙහෙවරක් සිදුකරමින් සිටියදි කොවිඩ් - 19 වෛසරය ආසාදිත වීම හේතුවෙන් පසුගියදා මියගිය එම ගිලන්රථ රියදුරුගේ සේවය අගය කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් මත ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඔහුගේ දියණියට විශේෂ ශිෂ්‍යත්වයක් පිරිනමන ලදී.

මියගිය රියැදුරුගේ එකම දියණිය වන බී.ඒ. තිළිණි ශෂිප්‍රභා, රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයෙන් ඉගෙනුම ලබන අතර ඉදිරි වසර දෙක තුළ ඇයගේ අධ්‍යාපන කටයුතු සඳහා මෙම ශිෂ්‍යත්වය පිරිනමන ලදී. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ගැමුණු හේවා බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නෙලුම් වඩුගේ මහත්මිය ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකුගෙන් ලද මූල්‍යමය දායකත්වයෙන් මෙම ශිෂ්‍යත්වය පිරිනැමීම සඳහා කටයුතු කළේය.

මියගිය රියැදුරුගේ දියණියට මෙම ශිෂ්‍යත්වය යුද්ධ හමුදාධිපතිතුමන් වෙනුවෙන් ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් රොෂාන් ජයමාන්න විසින් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පිරිනැමීය.

රත්නපුර දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් දිනෙන් දින වැඩිවෙමින් තිබියෙදී සිය ජිවිතයට පරදුවට තබමින් රත්නපුර ශික්‍ෂණ රෝහලේ ගිලන්රථ රියදුරෙකු ලෙස අනගි සේවයක් ඉටුකර මියගිය එම රියදුරු පිළිබඳ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දැනගැනීමෙන් අනතුරුව ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත සිය සංවේගය පලකරමින් දියණියගේ අධ්‍යාපනය කටයුතු සඳහා සහයෝගය ලබාදීමට කටයුතු කළේය.

ඒ අනුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර මසකට රුපියල් 6,600 ක් බැගින් ඇය විශ්ව විද්‍යාලයට ඇතුලත්වීමට සුදුසුකම් ලබන තෙක් ඉදිරි වසර දෙක පුරා එම දියණියගේ අධ්‍යාපනය කටයුතු සඳහා මෙම ශිෂ්‍යත්වය පිරිනමනු ලබයි.