Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st September 2021 22:02:31 Hours

පැරාලිම්පික් පදක්කම් දිනු විරුවන්ට මහා සංඝරත්නයේ සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපතිගේ උණුසුම් සුභපැතුම්

ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලියේදී රන් පදක්කමක් දිනාගත් ගජබා රෙජිමේන්තුවේ බළලත් නිලධාරි 1 දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ කෝප්‍රල් දුලාන් කොඩිතුවක්කු වෙත සුබපැතුම් පිරිනැමීමේ උත්සවයක් ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිව ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා (31) දින ජපනායේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්විණි.

එම අවස්ථාවට වැඩමවා වඳාල ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය බානගල උපතිස්ස නායක හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය ශ්‍රී ලංකාදීපයට ගෞරවයක් අත්කරදුන් ක්‍රීඩකයින් දෙපලට ආශිර්වාද එක් කළේය.

තානාපති කාර්යාලයේ නිලධාරින් විසින් මහත් හරසරින් යුතුව එම ක්‍රිඩකයින් දෙපළ පිළිගැනීමෙන් අනතුරුව මහා සංඝරත්නය සෙත්පිරිත් සඡ්ඣායනා කර ඔවුන්ට ආශිර්වාද එක් කළහ. මෙම අවස්ථාවට වැඩමවා වඳාළ පූජ්‍ය ආචාර්ය බානගල උපතිස්ස නායක හිමිපාණන් මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදුකරමින් මාතෘභූමිය වෙනුවෙන් අත්කරදුන් ඓතිහාසික ජයග්‍රහණයන් පිළිබඳ ඔවුන් දෙපළට ප්‍රශංසා කළහ.

ඉන්පසුව, ජපානයේ ශ්‍රී ලංකා තානාපති විසින් ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කමක් හිමිකරගත් බළලත් නිලධාරි 1 දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් හිමිකරගත් කෝප්‍රල් දුලාන් කොඩිතුවක්කුගේ ජයග්‍රහණයන් අගය කරමින් ඔවුන් වෙත විශේෂ සමරුතිළිණ සහ සහතික පත් ප්‍රදානය කළේය.

එම ක්‍රීඩකයින් දෙපල මාතෘභූමියට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ගෞරවයක් අත්කරදී පැය කිහිපයකට පසු, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඔවුන් දෙදෙනා වෙත සිය සුභාශිංසන එක් කළේය. මෙම තරගාවලිය සඳහා ටෝකියෝ අගනුවර වෙත යාමට ප්‍රථම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක බළලත් නිලධාරි 1 දිනේෂ් ප්‍රියන්ත හේරත් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවූ අවස්ථාවේදී ශ්‍රී ලාංකික පැරාලිම්පික් ක්‍රීඩකයන්ට මෙය මහඟු අවස්ථාවක් බැවින් ජයග්‍රහණ අත්පත් කරගැනීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඔවුන් දිරිමත් කරනු ලැබුණි. එහිදී, බළලත් නිලධාරි 1 දිනේෂ් ප්‍රියන්ත හේරත් විසින් රටට මෙලෙස කීර්තියක් අත්පත් කරදෙන බවට යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සහතික වී තිබිණි.

රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ අනුමැතිය මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් බළලත් නිලධාරි 1 නිලයට උසස් කර ඇත.

2004 වර්ෂයේ මාර්තු 18 වන දින සාමාන්‍ය සෙබළකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවට එක් වූ බළලත් නිලධාරි 1 දිනේෂ් ප්‍රියන්ත හේරත් 2008 දෙසැම්බර් මස 16 වන දින කිලිනොච්චි ප්‍රදේශයේ දී රුදුරු එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ දරුණු ප්‍රහාරයකට ලක් වී ආබාධයකට ලක්විය. ත්‍රස්තවාදී ප්‍රහාරවලට ලක්වීමෙන් අනතුරුව ඔහු යුද්ධ හමුදා පැරා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට අවතීර්ණ විය.

2012 වර්ෂයේදී බළලත් නිලධාරි 1 දිනේෂ් ප්‍රියන්ත හේරත් විසින් යුද්ධ හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 52 ක් දුර හෙල්ල විසිකර රන් පදක්කමද, 2012 වර්ෂයේ මැලේසියාවේ පැවති පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 52.95 ක් දුර හෙල්ල විසිකර රන් පදක්කමද, 2016 වර්ෂයේදී රියෝ පැරාලිම්පික් තරඟාවලියේදී මීටර 58.23 ක් දුර හෙල්ල විසිකර ලෝකඩ පදක්කමද, 2017 වර්ෂයේදී ජර්මනියේ පවත්වන ලද පැරාලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී මීටර් 53.09 ක දුර හෙල්ල විසිකර රිදී පදක්කමක්ද, 2017 වර්ෂයේ මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පවත්වන ලද ලෝක පැරා මලල ක්‍රිඩා තරගාවලියේදී මීටර් 59.90 ක දුර හෙල්ල විසිකරමින් රිදී පදක්කමක්ද, 2018 වර්ෂයේ ආසියානු පැරා ක්‍රීඩා තරඟාවලියේදී මීටර් 61.84 දුරක් වාර්තා කර රන් පදක්කමක් සමගින් නව තරඟ වාර්තාවක් පිහිටුවීම සහ 2019 ලෝක පැරා ක්‍රීඩා තරඟාවලියේදී මීටර් 60.59 ක දුරක් හෙල්ල විසිකරමින් රිදී පදක්කමද දිනාගන්නා ලදී.

ලෝකඩ පදක්කම්ලාභි කෝප්‍රල් දුලාන් කොඩිතුවක්කු, 2018 වර්ෂයේ ඉන්දුනිසියාවේ පැවති ආසියානු පැරා ක්‍රීඩා තරඟාවලියට, 2019 වර්ෂයේ ඩුබායි ලෝක පැරා ක්‍රීඩා තරගාවලියට සහ ජාතික පැරා ක්‍රීඩා උළෙලට සහභාගි වු දක්‍ෂ ක්‍රීඩකයෙකි.

දෙණියාය ප්‍රදේශයේ උපත ලැබු කෝප්‍රල් දුලාන් කොඩිතුවක්කු 2009 දෙසැම්බර් 05 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්විය.