Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st August 2021 18:18:11 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර භටපිරිස් රුධිර පරිත්‍යාග වැඩසටහනක

ජාතික තැලිසීමියා මධ්‍යස්ථානය විසින් ප්‍රධාන රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජිවිත බේරාගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව අඟහරුවාදා (31) දින පනාගොඩ ශ්‍රී බෝධීරාජාරාමයේදී ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 270 කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය රුධිරය පරිත්‍යාග කළහ.

මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන අතරතුරදී එම කටයුතුවල ප්‍රගතිය පිළිබඳ සොයාබැලීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එහි නිරික්‍ෂණ සංචාරයක නිරතවෙමින් රුධිරය පරිත්‍යාග කරන භටපිරිස් සහ එහි සිටි වෛද්‍ය කාර්යමණ්ඩලය සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජිව සෙනරත් යාපා ගේ මඟපෙන්වීම මත 14 වන සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සම්බන්ධිකරණයෙන් සංවිධානය කළ මෙම රුධිර පරිත්‍යාග වැඩසටහනේදී රුධිර මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය රුධිර ප්‍රමාණය කඩිනමින් එක්රැස් කරගැනීමට හැකිවිය.

නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ සහ රාගම ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායම් විසින් දියත් කළ මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා යුද්ධ හමුදා වෛද්‍ය කාර්යමණ්ලයේ සහයෝගය ද හිමිවිණි.

යුද්ධ හමුදාධිපතිතුමන් එහි සපැමිණි අවස්ථාවේයුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිරමේජර් ජෙනරල් සුජිව සෙනරත් යාපා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු එක්ව සිටියහ.