Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th August 2021 08:18:14 Hours

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකාය කොවිඩ් - 19 වෛරසය සම්ප්‍රේශණයේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරති

රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ තවත් එක් සැසිවාරයක් ඉකුත් බදාදා (11) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වෛද්‍ය විශේෂඥයින් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවේදී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෛරසය ව්‍යාප්ත වීමේ වත්මන් තත්ත්වය, පාලන ක්‍රමවේද සහ ඒ සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ආදී කරුණු පිළිබඳ සිය අදහස් දැක්වන ලදී.

ඉන් අනතුරුව, කොළඹ දිස්ත්‍රික්කයේ ආබාධිත, අසනීප සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් මෙන්ම වයෝවෘධ පුරවැසියන් සඳහා ක්‍රියාත්මක කර ඇති ජංගම එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳව ද යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් කරුණු දැක්වූවේය. ඒ පිළිබඳ, පැහැදිලි කළ හෙතෙම මෙම ක්‍රියාවලිය සඳහා වෛද්‍ය කණ්ඩායම් සමග ගිලන් රථ 10 ක් වෙන්කර ඇති අතර එම සෑම ගිලන් රථයක් සඳහාම හෙදියක්, සහයකයෙක් සහ දත්ත ක්‍රියාකරුවෙක් ඇතුලු කාර්ය මණ්ඩල සාමාජිකයින් සිවුදෙනෙකුගෙන් සමන්විත වන බවත් ඔවුන් ආරක්‍ෂිත ආවරණ සහ පුද්ගලික ආරක්‍ෂිත උපකරණ භාවිත කරමින් මෙම කර්තව්‍යයේ නිරත වන බවත් මෙම සෑම ගිලන් රථයක්ම වෛද්‍යවරයෙකු සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ක්‍රමානුකූලව එන්නත්කරණය සිදුකරන බව සදහන් කළ යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් සඳන් කර සිටියේ මෙම ජංගම සේවාව අගෝස්තු මස 12 දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයෙන් ආරම්භ කරන බවත් අනෙකුත් එන්නත්කරණ වැඩසටහන් ද සාමාන්‍ය පරිදි දිවයින පුරා ක්‍රියාත්මක වන බවය.

“පසුගිය දින කිහිපයේදී කොවිඩ් - 19 කාර්ය සාධක බළකාය ද ඇතමුන්ගේ විවේචනයට ලක් වූවා. නමුත් සෑම පුරවැසියෙකුටම සිය අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇත. ප්‍රතිශක්තීකරණ කටයුතු සිදුකරගැනීමට කිසිවෙකුට බලකිරීමට අවශ්‍ය නොවන අතර එම කටයුතු සිය කැමැත්තෙන් කරගත යුතුයි. එක් පුද්ගලයෙකු බලහත්කාරයෙන් එන්නත්කරණයට භාජනය කිරීමට උත්සහ ගත් බව පවසමින් මානව හිමිකම් කොමිසමට යාමට මේ වනවිට සූදානම්ව ඇති බව බුද්ධි අංශ වෙතින් අපට දැනගැනීමට ලැබුණා. ඇත්ත වශයෙන්ම, සෑම පුදගලයෙකුටම සිය මතයන් තුළ රැඳී සිටීමට අයිතියක් ඇති බවත්, එම මතයන් ස්වභාවයෙන්ම එකිනෙකාට වෙනස් වන අතර ඒ සඳහා මනෝවිද්‍යාත්මක සාධකයන් ද බලපාන බව” හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

“මේ වනවිට දිවයින පුරා මිලියන 15 කට අධික එන්නත් ප්‍රමාණයක් එන්නත්කරණය සිදුකර ඇති අතර, අප බලාපොරොත්තු වූවාට වැඩියෙන් ආසාදිතයින්ගේ ව්‍යාප්තිය වැඩි නමුත් එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් සිදුකිරිමේ හැකියාව අප සතුව පවති.”

මේ අතර, යුද්ධ හමුදාපතිතුමන් රෝහල් මෘත ශරීරාගාර තුළ ඇති මළසිරුරු පිළිබඳවද සඳහන් කරමින් ප්‍රකාශ කර සිටියේ. මේවන විට මල සිරුරු 130 ක ප්‍රමාණයක් භූමදානය සඳහා ඇති බවට ඇතැම් පින්තූර මගින් හුවා දක්වා ඇති අතර අපට ගැටළුවක් පැවති නමුත් එය අපට නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබුණා. ඇතැම් මළසිරුරු වසරකට වැඩි කාලයක් රෝහල් මෘත ශරීරාගාර තුළ තිබී ඇත. එම මළසිරුරු ඉවත් කිරීම අප ඊයේ දින ආරම්භ කළා. එම මෘතදේහ ඉවත්කිරීමට යුද්ධ හමුදාව මේ වනවිට කටයුතු කරමින් සිටින අතර අධිකරණයෙන් අවසර ලැබීමෙන් පසු කිසිවෙකු හිමිකම් නොකියනු ලබන මෘතදේහ 40 ක් පමණ අවමංගල්‍ය කටයුතු සඳහා ඔට්ටමාවඩි ප්‍රදේශයට යවන ලදී. එම සිරුරු සියල්ලම කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී මියගිය ඒවා නොවන අතර ඇතැම් නිදන්ගත රෝග හේතුවෙන් මියගිය දේහයන් ද ඒ අතර තිබූ බව” හෙතෙම ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් සහ අනෙකුත් සෞඛ්‍ය බලධාරින් සිය අදහස් ප්‍රකාශ කරමින් මහජනතාවගේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම පිළිබඳව කනස්සල්ල ප්‍රකාශ කළ අතර එන්නත්කරණ ක්‍රියාවලිය, කොවිඩ් - 19 වෛරසයේ ජාත්‍යන්තර ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය, රට තුළ පවතින රෝහල් පහසුකම් ආදී කරුණු පිළිබඳව අදහස් දැක්වූහ.