Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th August 2021 16:57:42 Hours

ජාතික එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කරමින් යුද්ධ හමුදාව ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් ආරම්භ කරයි

(මාධ්‍ය නිවේදනය)

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිවයිනපුරා ක්‍රියාත්මක කරන ලද ජාතික එන්නත්කරණ වැඩසටහනට නව ප්‍රවිෂ්ඨයක් එක්කරමින් බස්නාහිර පළාත තුළ තවමත් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘධ පුරවැසියන් හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් හෙට (12) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතයි.

යුදධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කණ්ඩායම් සමගින් විශේෂ ජංගම රථ 10 ක් මෙම කාර්ය සඳහා සූදානම් කර ඇත. ඒ අනුව, මෙම ජංගම එන්නත්කරණය සිදුකර ගැනීමට අවශ්‍ය මහජනතාව 0112860002 හෝ 1906 යන දුරකථන අංක ඔස්සේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අමතා ලියාපදිංචි වීමෙන් එන්නත්කරණය සිදුකර ගැනීමේ හැකියාව හා වැඩිදුර තොරතුරු ලබාගැනිමේ හැකියාව ඇත. (නිමාව)