Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th August 2021 08:29:11 Hours

සඳහිරු සෑයේ තැන්පත් කිරීමට නියමිත චුඩා මාණික්‍යය බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා විහාරස්ථාන 48 කට වැඩම කරවයි

ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ අභිනවයෙන් ඉදිකරමින් පවතින සඳහිරු සෑයේ පැළදවීමට නියමිත චූඩා මාණික්‍යය බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා ඊයේ (05) දින සිට කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී විවෘතව තබයි. සඳහිරු සෑයේ කොත් වහන්සේගේ තැන්පත් කිරීමට නියමිත මෙම චුඩා මාණික්‍යය මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා සහ මල් පූජාවන් මධ්‍යයේ වර්ණවත් රථ පෙළපාලියකින් අනුරාධපුර සඳහිරු සෑය වෙත වැඩමකරවීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

එළඹෙන ඉරිදා (08) දිනෙන් පසුව මෙම චූඩා මාණික්‍යය රථ පෙළපාලියකින් දිවයිනේ දිස්ත්‍රික්ක 18 ක පිහිටි විහාරස්ථාන 48 ක් වෙත වැඩම කරවා දින 47 ක් සම්පූර්ණ කිරීමෙන් පසුව අනුරාධපුර පූජා භූමිය වෙත වැඩම කරවීමට නියමිතව ඇත.

මෙම ව්‍යාපෘතිය කඩිනමින් සම්පූර්ණ කිරිම සඳහා දායකත්වය දැක්වූ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සමඟ මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, චිත්‍රානි ගුණරත්න මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය, බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුළු තවත් රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙක් සහභාගී වූහ. මෙහිදී, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ අනුනායක පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජ් හිමිපාණන්, පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නායක හිමිපාණන් ඇතුළු තවත් සංඝයා වහන්සේලා කිහිපනමක් විසින් ආගමික වතාවත් පැවැත්වූහ.

මෙම ඉදිකිරීම් කටයුතු සඳහා අනුග්‍රාහකත්වය දක්වන ප්‍රසිද්ධ ව්‍යාපාරික, සැදැහැවත් ආතර් සේනානායක මහතා විසින් මෙම චෛත්‍යයේ කොතෙහි පැළඳවීමට නියමිත පූජනීය චූඩා මාණික්‍යය ද පූජා කිරීමට සිය දායකත්වය දැක්වූ අතර මෙම අවස්ථාවට එතුමන්ද සහභාගී වූවේය.