Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st August 2021 18:34:30 Hours

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට එන්නත්කරණ මධ්‍යස්ථාන පැය 24 පුරාම විවෘතයි

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත යුද්ධ හමුදා නිවාරණ හා මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලය යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කාර්යමණ්ඩලය මහජනතාව වෙත එන්නත් ලබාදීමේ ජාතික ක්‍රියාන්විතයට සිය දායකත්වය ලබාදෙනු ලබයි.

ඒ අනුව, ඇස්ට්‍රාසෙනෙකා (AstraZeneca - Covisheild) එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එම එන්නතේ දෙවන මාත්‍රාව කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි යුද්ධ හමුදා එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් අගෝස්තු මස 1 දින සිට හා බත්තරමුල්ල, දියත උයනේ පිහිටි යුද්ධ හමුදා එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් අගෝස්තු මස 2 සඳුදා දින සිට 4 වන බදාදා දින දක්වා පැය 24 පුරාම ලබාගත හැකිය.

එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල, පනාගොඩ බෝධිරාජාරාමය සහ වේරහැර යුද්ධ හමුදා වෛද්‍ය බලකා කඳවුර තුල පිහිටි යුද්ධ හමුදා එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණෙන සියලු දෙනාට ද ඇස්ට්‍රාසෙනෙකා (AstraZeneca - Covisheild) එන්නතේ දෙවන මාත්‍රාව අගෝස්තු මස 1 දින සිට ලබාදෙනු ලබයි.

එසේම, ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි කැලණිය ධර්මාලෝක විද්‍යාලය, කඩවත කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ පිහිටි යුද්ධ හමුදා එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණෙන සියලු දෙනාට ද ඇස්ට්‍රාසෙනෙකා (AstraZeneca - Covisheild) එන්නතේ දෙවන මාත්‍රාව අගෝස්තු මස 1 දින සිට ලබාදීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

එන්නත් ලබාගැනීම සඳහා පැමිණෙන මහජනතාව පළමු එන්නත ලබාගත් කාඩ්පත සහ ජාතික හැඳුනුම්පත රැගෙන එන ලෙස උපදෙස් ලබාදී ඇත.

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා නිවාරණ හා මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් (වෛද්‍ය) සවීන් සේමගේ ප්‍රමුඛ යුද්ධ හමුදා වෛද්‍ය කාර්යමණ්ඩලය විසින් මහජනතාව එන්නත් කිරීමේ ජාතික ක්‍රියාන්විතය සවිබල ගන්වන ලදී.