Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th July 2021 13:00:38 Hours

65 වන සේනාංකයේ නව සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ සංචාරයක

65 වන සේනාංකයේ නව සේනාංකාධිපති බ්‍රිගේඩියර් අනිල් සමරසිරි ජුලි මස 21 දින සිට 25 දින දක්වා සිය බලප්‍රදේශයේ ස්ථාපිත බලසේනා සහ ඒකකවල සංචාරයක නිරත වූවේය.

එහිදී, හෙතෙම මුලන්කාවිල් පිහිටි 651 වන බලසේනාව, නන්දන්කන්ඩාල් පිහිටි 652 වන බලසේනාව සහ තද්චන මරදමඩු පිහිටි 653 වන බලසේනාවේ සංචාරය කළේය‍.

මෙම සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් අනිල් සමරසිරි පසුගිය බදාදා (21) දින 651 වන බලසේනාවේ සංචාරය කළේය. එහිදී, එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත බණ්ඩාර විසින් හෙතෙම පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ.

ඉන් අනතුරුව, 651 වන බලසේනාවේ බලසේනාධිපති විසින් එම බලසේනාවේ පරිපාලන කටයුතු, මෙහෙයුම් කටයුතු සහ රාජකාරි සඳහා භටපිරිස් යෙදවීම පිළිබඳව සේනාංකාධිපති දැනුවත් කළේය. පසුව, එම බලසේනාවේ නිලධාරින් සහ සෙසුනිලයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් සේනාංකාධිපති 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 17 වන (ස්වෙච්ඡා) ශ්‍රි ලංකා පාබල හමුදාව සහ මුලන්කාවිල් බලඇණි පුහුණු පාසලේ සංචාරය ක‍ළේය.

ඉන් අනතුරුව, බ්‍රිගේඩියර් අනිල් සමරසිරි 652 වන බලසේනාවේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකවල සංචාරය කළේය. පසුගිය බ්‍රහස්පතින්දා (22) දින සිදුකළ මෙම සංචාරයේදී 652 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සංජීව වනසේකර සහ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි විසින් බලප්‍රදේශයේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබද සේනාංකාධිපති දැනුවත් කරන ලදී. පසුව සේනාංකාධිපති භටපිරිස් ආමන්ත්‍රණය කළේය. මෙම සංචාරයෙන් අනතුරුව බ්‍රිගේඩියර් අනිල් සමරසිරි 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ ද සංචාරයක නිරත වූවේය.

මෙම ක්ෂේත්‍ර සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් අනිල් සමරසිරි පසුගිය ඉරිදා (25) දින 653 වන බලසේනාවේ සංචාරයක නිරතවිය. සංචාරයේ නිරත ජ්‍යෙෂ්ඨ නිලධාරි 653 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුදන්ත ෆෝන්සේකා විසින් පිළිගැනීමෙන් අනතුරුව එම බලසේනාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකළහ.

ඉන් අනතුරුව, එම බලසේනාවේ බලසේනාධිපති සහ 24 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි විසින් සිය වගකීම් හා කාර්යභාරය පිළිබඳ සේනාංකාධිපති දැනුවත් කළහ. පසුව, සේනාංකාධිපති භටපිරිස් ඇමතුවේය. ඉන් අනතුරුව, හෙතෙම 24 වන ගජබා රෙජිමේන්තුවේ ද සංචාරය කළේය.

මෙම සංචාරයන් අතරතුර, සේනාංකාධිපති එම බලසේනා බලප්‍රදේශයේ පිහිටි මාර්ග බාධක, වැදගත් ස්ථාන සහ අවධානම් සහිත ස්ථානයන්වල සේවයේ නියුතු භටපිරිස් හමුවිය. මෙම සංචාරයේ සමාප්තියේදී හෙතෙම 65 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි මඩු දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබාගත්තේය.