Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th July 2021 18:42:37 Hours

ගුවන් සංක්‍රමික බලසේනාවේ හිටපු බලසේනාධිපති මුහමාලෙයි ක්‍රියාන්විතයේ මතකයන් ආවර්ජණය කරයි

විශේෂිත ප්‍රහාරක බලසේනාවක් වශයෙන් එල්ටීටීඊ ත්‍රස්තවාදය අවසන් කිරීමට මානුෂීය මෙහෙයුමේදීත් අති විශාල දායකත්වයක් දැක්වු ගුවන් සංක්‍රමික බලසේනාව 53 වන අතිරේක සේනාංකය යටතේ මේ වනවිට උතුරු හා නැගෙනහිර ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ ආරක්‍ෂක රාජකාරීන් හා ආපදා මෙහෙයුම් රාජකාරීන් සඳහා යොදවා ඇති බවත් බලසේනාව සතු ප්‍රහාරක ශක්තිය හා පිරිස් බලය තවදුරටත් වර්ධන කිරීම සඳහා නව බලඇණි දෙකක් මෙම බලසේනාවට එක්කිරීමට කටයුතු කරන බවත් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

නිකවැව ප්‍රදේශයේ පිහිටි ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ පාඨමාලා අංක 23 යටතේ සාර්ථකව පුහුණුව අවසන් කළ නිලධාරින් 4 දෙනෙකු සහ සෙසුනිලයින් 196 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය පසුගිය බදාදා (28) දින පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සියලුදෙනා ඇමතුවේය.

එහිදී අදහස් දැක්වු යුද්ධ හමුදාධිපතිතුමන්, ගුවන් සංක්‍රමික බලසේනාවේ මුහමාලේ එළතුමඩ්ඩුවාල් ප්‍රදේශයේ ස්ථානගතව සිටින කාලවකවානුවේදී එල්ටීටීඊ යට එරෙහිව පැවති යුද්ධයේ දරුණුම කාලවකවානුවේ බලසේනාධිපති වශයෙන් රාජකාරි කිරීමට එතුමන්ට අවස්ථාව උදාවුණු බවත් 2006 වර්ෂයේ අගෝස්තු මාසයේදී මුහමලේ ඒ 9 මාර්ගයේ පිහිටි ඇතුළුවීමේ හා පිටවීමේ යුද්ධ හමුදා මුරපොල එල්ටීටීඊ ත්‍රස්තවාදීන් අත්පත් කරගෙන තිබූ අවස්ථාවක දරුණු සටන් මධ්‍යයේ මෙම බලසේනාවට අණදීම භාරගෙන ක්‍රියාකිරීමට සිදුවීම යුද්ධ හමුදා ජිවිතයේ ලද සුවිශේෂි සන්ධිස්ථානයක් ලෙස සලකන බවත් වසරකට අධික එම කාලවකවානුවේදී මුහමලේ ප්‍රදේශයේ ත්‍රස්තවාදීන්ගේ බලප්‍රදේශයන් තුලට ඇතුළුවී ගුවන් සංක්‍රමික සෙබළුන් දැක්වු රණකාමීත්වය හා දැඩි අධිෂ්ඨානශිලි කැපකිරීම හෙතෙම ඉතාමත් හොදින් දැක තිබෙන බවත් පැවසීය.

වර්ෂ 1994 දී ආරම්භ කරන ලද ගුවන් ජංගම බලසේනාවේ භටපිරිස් 53 වන සේනාංකය යටතේ තොප්පිගල, ත්‍රිකුණාමලය, මන්නාරම හා වාලච්චේන වැනි ප්‍රදේශවලදී විශේෂිත ක්‍රියාන්විත රාශියක් සිදුකර ඇති බවත් පසුකාලීනව ගුවන් සංක්‍රමික බලසේනාව බවට පත්වු මෙම බලසේනාව රිවිරැස හා ජයසිකුරු ක්‍රියාන්විතයන්හිදී විශාල යුද ජයග්‍රහණයන් ලබාගැනීමට අතිවිශිෂ්ට දායකත්වයක් දැක්වු බවත් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි සඳහන් කළේය.

රටේ ආරක්‍ෂාව වෙනුවෙන් සුදානමින් පසුවුණු අපගේ හමුදාවන්ට කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මින්පෙර මුහුණනොදුන් ආකාරයේ විවිධ අභියෝගාත්මක කාර්යයන් රාශියක් පැවරි ඇති බවත් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ පැවරුණු වගකීම් සාර්ථකව ඉටුකරමින් අතිවිශාල ජාතික කාර්යභාරයක් අප මේ වනවිට ඉටුකරන බවත් අභියෝග මධ්‍යයේ වුවත් පැවරුණු අනෙකුත් වගකිම් ඉටුකරන අතරතුරදීම පුහුණු කටයුතුද අඛණ්ඩව සිදුකරගෙන යාම පිළිබඳව ඔබ සැමට ප්‍රශංසාව පළ කරන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

විශේෂිත පුහුණුව ලැබු භටපිරිස් වන කමාන්ඩෝ හා විශේෂ බලකා සෙබළුන් මෙන්ම ගුවන් සංක්‍රමික සෙබළුන්ද ඉතාමත් විශේෂිත පුහුණුවක් සම්පුර්ණ කිරීම අත්‍යාවශ්‍ය වන අතර ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් ඇතිවන ඕනෑම අවස්ථාවකදී පාබල බලඇණිවල ක්‍රියාන්විත කලාපයෙන් ඔබ්බට ගොස් ක්‍රියාන්විත කිරීමේ හැකියාවක්, දක්‍ෂතාවයක් හා ආත්ම විශ්වාසයක් ඔබ තුල ගොඩනැංවිම තුළින් සාර්ථක ගුවන් සංක්‍රමික සෙබලෙකු බිහිවන බවත් ප්‍රතිත්‍රස්ත යුද උපක්‍රම, නගරබද සටන්, අත්මාරක්‍ෂක සටන්, ගුවන් යානා සමග සිදුකරන ක්‍රියාන්විත, රැපලින්, රණබිම් ක්‍රම හා විශේෂිත යුද උපක්‍රම වැනි විවිධ පුහුණු ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරමින් ගුවන් සංක්‍රමික සෙබළුන් පුහුණු කරන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි පැවසීය.

පුහුණු පාසලේ විශේෂිත පුහුණුවීම් සඳහා අත්‍යාවශ්‍ය මීටර් 200 වෙඩිපිටියක් හා නගරබද සටන් පුහුණු ගම්මානය පුහුණු කටයුතු සඳහා එක්කිරිමත් පුහුණු පාසල් කාර්යාල ගොඩනැගිල්ලේ ඉදිකිරිම් කටයුතු ආරම්භ කිරීමත් පුහුණු කටයුතු වෙනුවෙන් අඩි 80 ක උසින් යුත් රැප්ලින් කුළුණ ඉදිකරමින් පවතින බවත් එමගින් විශේෂ දක්‍ෂතා සහිත ගුවන් සංක්‍රමික බලසේනා සෙබළුන්ට තවදුරටත් පුහුණු කටයුතු සඳහා අවස්ථාව උදාවන බවත් පැවසු යුද්ධ හමුදාධිපතිතුමන් සිය දේශනය අවසානයේ ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ පාඨමාලා අංක 23 යටතේ සාර්ථකව පුහුණුව අවසන් කර විසිරයන නිලධාරින්ට සහ සෙසුනිලයින්ට සිය සුභාශිංසන එක් කළේය.