Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th May 2021 16:11:33 Hours

රට වෙනුවෙන් දිවිපිදු ත්‍රිවිධ හමුදාවේ විරෝදාර රණවිරුවන් ජාතික රණවිරු ස්මාරකය අභියසදී සැමරේ

රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වාධීනත්වය උදෙසා සිය වටිනා ජීවිත පරිත්‍යාග කළ යුද, ගුවන් හා නාවික හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ විරෝදාර රණවිරුවන්ගේ සදාතනික මතකයන් සිහිපත් කිරීමේ 12 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය මැයි මස 19 වන දින සන්ධ්‍යාවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහභාගිවීමට නියමිත අතර ගරු අග්‍රාමත්‍යතුමන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර, ජනාධිපති ලේකම්, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, පොලිස්පති, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුන්ගේ ආදරණීය ඥාතීන් රැසක් සහභාගිවීමට නියමිතය.

රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරනුලබන12 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය මැයි මස 19 වන දින පස්වරු 4.00 ට සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ සම්ප්‍රාප්තියෙන් පසුව දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ආරම්භ කිරීමට නියමිතව ඇත.

2009 මැයි මාසයට පෙර එල්ටිටිඊ ත්‍රස්තවාදීන් සමඟ පැවැති කුරිරු යුද්ධයේදී මාතෘ භූමියේ ඒකීයභාවය සහ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම උදෙසා සිය ජීවිත පූජා කළ යුද්ධ හමුදාවේ (23,962), නාවික හමුදාවේ (1160), ගුවන් හමුදාවේ (443), පොලිසියේ (2598) සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ (456) විරෝදාර රණවිරුවන් මෙම රණවිරු සැමරුම් උත්සවයේදී සිහිපත් කරනු ලබයි. රණවිරු සැමරුම් උත්සවය ආරම්භ කර ජාතික ගීය ගායනාකිරීමෙන් අනතුරුව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත්කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලබයි.

උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාවේ රණ බෙර හඬ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ නිර්භීතභාවය සහ අධිෂ්ඨාන ශක්තිය මැනවින් නිරූපනය කරනු ඇත. ඉන් අනතුරුව, අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රමාත්‍යතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ දිවිපිදු රණවිරුන්ගේ ඥාතීන් රණවිරු ස්මාරකය අභියසට ගමන් කොට මල්කළඹ තැන්පත් කරමින් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්හට පුෂ්පෝපහාර පුද කිරීමට නියමිතය.

හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් වැයෙන මලවුන් සිහිකිරීමේ සහ පිබිදීමේ වාදන නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන්වනු ඇත.