Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th May 2021 20:57:15 Hours

හදිසි අවස්ථාවක රෝගීන් 500 කට ප්‍රතිකාර සිදුකිරීම සඳහා නුවරඑළියේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සුදානම්

නුවරඑළියේ දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් ඉහළයාමක් සිදුවුහොත් ඔවුන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා නුවරඑළිය නගර ශාලා ගොඩනැගිල්ල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීමට 112 වන බලසේනාවේ සහ 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පියවර ගන්නා ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ නුවරඑළිය දිස්ත්‍රික සම්බන්ධිකාරක මේජර් ජෙනරල් රංජන් ලමාහේවාගේ සම්බන්ධීකරණයෙන් වෛරසය ආසාදිත රෝගීන් 500 දෙනෙකුට නවාතැන් පහසුකම් සැපයීමේ අරමුණින් නුවරඑළිය නගරාධිපති සහ සෞඛ්‍ය බලධාරීන්ගේ සහයෝගය ඇතිව පැය 72 කටත් අඩු කාලසීමාවකදී භටපිරිස් විසින් නගර ශාලා ගොඩනැගිල්ල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කළහ.

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට අවශ්‍ය ඇඳන්, මෙට්ට, කොට්ට ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදී ඇත. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත 11 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ සහ 112 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීමේ කටයුතු සිදුකරන ලදී.

නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට අවශ්‍ය විදුලිය හා ඒ සම්බන්ධ කටයුතු 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිදුකරන ලදී.