Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th May 2021 13:43:54 Hours

55 වන සේනාංකයේ භටපිරිස් පේදුරු තුඩුවේදී මුහුණු ආවරණ බෙදා දී කොවිඩ් - 19 වෛරසය පිළිබඳ ජනතාව දැනුවත් කරයි

55 වන සේනාංකය යටතේ ස්ථාපිත 16 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (29) සහ සිකුරාදා (30) දෙදින තුළ මන්තිකායි ප්‍රදේශයේදී කොවිඩ් - 19 වෛරසය පැතිරීම පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපෘතීන් දියත් කළහ.

55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සිසිර පිලපිටිය සහ 551 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චින්තක වික්‍රමසිංහ ගේ උපදෙස් පරිදි දියත් කරනු ලැබූ මෙම වැඩසටහනේදී මුහුණු ආවරණ පැළඳීමේ වැදගත්කම, සමාජ දුරස්ථභාවය සහ සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙත් අනුගමනය කිරීම ඇතුලු කරුණු රැසක් පිළිබඳ ජනතාව දැනුවත් කරන ලදී.

මෙම ව්‍යාපෘතිය මන්තිකායි වෙළඳ සංකීර්ණය, පොදු වෙළඳපල, රෝහල සහ පේදුරු තුඩුව නගරය යන ප්‍රදේශ වල ජනතාව බහුලව ගැවසෙන වේලාවන් වලදී ක්‍රියාත්මක කරන ලදී. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන අතරතුර යුද්ධ හමුදා භටපිරිස් විසින් මුහුණු ආවරණ තොගයක් ද නොමිලේ බෙදාදුන්හ.

මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, පොලිස් නිලධාරින්, ග්‍රාම සේවා නිලධාරින් සහ අනෙකුත් රාජ්‍ය නිලධාරින් ද සිය දායකත්වය දැක්වූහ.