23rd April 2021 19:29:25 Hours
පනාගොඩ පිහිටි බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් විකුම් ලියනගේ ඉකුත් අඟහරුවාදා (20) දින එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කළේය.
ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත 12 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමා ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සරඹ භූමියේදී හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එතුමන් වෙත පිරිනැමූහ.
මේජර් ජෙනරල් විකුම් ලියනගේ මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගත්තේය. එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව ආඥාපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
ඉන් අනතුරුව පැවති සියලුනිල තේපැන් සංග්‍රහයකට එක්වූ එතුමන් නිලධාරීන් සහ සෙසුනිලයින් ද ඇමතූවේය. එම අවස්ථාවට බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.
නව ධූරයේ රාජකාරී භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරල් විකුම් ලියනගේ 21 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී කළේය. මීට ප්‍රථම බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති ධුරයේ හෙබවූ මේජර් ජෙනරල් වසන්ත ආබෲ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලැබීමත් සමඟ මේජර් ජෙනරල් විකුම් ලියනගේ නව ධුරයට පත් වූයේය.