Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

logo logo logo

21st April 2021 22:48:40 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් අජිත් පල්ලාවල වෙත හමුදා ගෞරවාචාර

වසර 35 ක යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුදුරේදී විශ්‍රාම දිවියට පා තැබීමට නියමිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ හිටපු මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් අජිත් පල්ලාවල වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් අබේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී ඉකුත් ඉරිදා (18) දින පැවැත්විය.

සිය රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් අජීත් පල්ලාවල ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නියෝජ්‍ය සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමීය. අනතුරුව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ධම්මික දිසානායක විසින් එතුමන්ව පිළිගෙන සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා එම රෙජිමේන්තු මූලස්ථානයේ සරඹ භූමිය වෙත එතුමන් කැටුව ගියේය.

සරඹ භූමිය වෙත සපැමිණි මේජර් ජෙනරල් අජිත් පල්ලාවල වෙත භටපිරිස් විසින් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිළින්වනු ලැබීය. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක සහ පෙළපාලි අණදෙන නිලධාරී සමඟ සම්මාන ආචාර පෙළපාලිය නිරීක්‍ෂණය කළ මේජර් ජෙනරල් අජිත් පල්ලාවල සම්මාන අචාරය පෙළපාලිය වෙත සිය අවසන් ගෞරවාචාරය පුද කළේය.

ඉන් අනතුරුව, එතුමන් මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් එම රෙජිමේන්තුවේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර දක්වමින් දිවිපිදු රණවිරුවන්ට සිය ආචාරය පුද කළේය. අනතුරුව සියලුනිල තේපැන් සංග්‍රහයට සහභාගී වූ එතුමන් පසුව සිය රෙජිමේන්තුවේ භටපිරිස් අමතමින් සිය අතීත මතක සටහන් සිහිපත් කරමින් තම රෙජිමේන්තුවේ කීර්තිනාමය ආරක්‍ෂා කිරිමේ වැදගත්කම පිළිබඳව කරුණු අවධාරණය කළේය.

අනතුරුව සිය රෙජිමේන්තුව වෙත සිදුකළ සේවය අගයමින් මේජර් ජෙනරල් අජිත් පල්ලාවල සහ පද්මිණි පල්ලාවල මැතිණිය වෙත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරී නිවස්නයේදී විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.

පසුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සියලුම නිලධාරීන් වෙනුවෙන් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර, විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් අජිත් පල්ලාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ සේවය අගයමින් එතුමන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් සුභපැතුම් එක් කරමින් මතකයේ සිහිවටනයක් ලෙස විශේෂ සමරුතිළිණයක් ද එතුමන් වෙත පිළිගැන්විය.

එම රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයන් මඟ දෙපස පෙල සැදි යුද්ධ හමුදා දිවියෙන් නික්මයන මේජර් ජෙනරල් අජිත් පල්ලාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වෙත හමුදා සම්ප්‍රදායානූකූලව ඔවුන්ගේ ගෞරවාචාරය පුද කළේය.