Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th November 2020 08:30:08 Hours

පුහුණුව සාර්ථකව අවසන් කළ තවත් සාමාජිකයන් රැසක් කමාන්ඩෝ රෙජිමේන්තුවට එක්වෙති

යුද්ධ හමුදාවේ කීර්තිමත් රෙජිමේන්තුවක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවට එක්වීම සඳහා පැවති පාඨමාලා අංක - 34 ඉතා සාර්ථකව නිමකළ නිලධාරින් හා සෙසුනිලයන්ගෙන් යුත් කණ්ඩායමක් පසුගිය 28 වන සෙනසුරාදා ඌව, කුඩාඔය පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී විසිර ගියහ.

මෙම විසිරයාමේ පෙළපාලියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවෙහි කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ සහභාගී වූ අතර එතුමන් වෙත කඳවුරු සම්මාන මුරයක් පුහුණු පාසල් ප්‍රධාන පිවිසුමේදී පාසල් සේනාවිධායක කර්නල් ප්‍රියංකර උබේසිරිවර්ධන උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව පිරිනමන ලදී.

මෙම විසිරයාමේ පෙළපාලියේදී නිලධාරින් හත්දෙනෙකු සහ සෙසුනිලයින් 175 දෙනෙකු කමාන්ඩෝ රෙජිමේන්තුව වෙත එක්වූ අතර ඔවුන් මාස 18 කට වැඩි කාලයක් ඉතා දුෂ්කර ශාරීරික මෙන්ම මානසික පුහුණු ක්‍රමවේදයන් තුළ පුහුණුවීම් සිදුකළහ.

ඉන් අනතුරුව, මෙම අවස්ථාවට සහභාගී වූ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක්ව විසිරයනු ලබන නව කමාන්ඩෝ සාමාජිකයන් වෙත කමාන්ඩෝ නිල ලාංඡන සහ අභිමානවත් මෙරූන් හිස්වැසුම් පළඳවන ලදී.

පාඨමාලාවේ දක්‍ෂතම කමාන්ඩෝ සෙබලාට හිමි සම්මානය ලුතිනන් ජේ.එම්.පී.ඩී.පී කරුණාරත්න දිනාගත් අතර ඔහු කමාන්ඩෝ රෙජිමේන්තුවේ එම ‘කමාන්ඩෝ ඩැගර්’ (Commando Dagger) නම් සම්මානය හිමිකරගත් 75 වැන්නා ලෙස ඉතිහාසයට එක්විය.

ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා විසිරයන නව කමාන්ඩෝ සාමාජිකයින් ඇමතූ අතර ඔවුන් සතු වගකීම් කවරේද ඒවා ඉටු කිරීමට ඔවුන් ලද පුහුණුව කෙසේ උපකාරි වන්නේද යන්න ප්‍රකාශ කරන ලද අතරම රෙජිමේන්තුවක් වශයෙන් කමාන්ඩෝ රෙජිමේන්තුව ලද අසමසම ජයග්‍රහණ හා එම ජයග්‍රහණ ලබාගැනීම සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ මියගිය, ආබාධිත හා වර්ථමානයේ සේවයේ නිරතව සිටින සාමාජිකයින් සිදුකළ කැපකිරීම් සඳහා සිය ගෞරවෝපහාරය පිරිනමන ලදී. එමෙන්ම, ‘නොහැක්කක් නොමැත’ යන තම ආදර්ශපාඨය තරයේ සිතෙහි තබා ආදර්ශමත් ලෙස ඉදිරියේදී කටයුතු කළයුතු බැව් ද අවධාරණය කරන ලදී.

මෙම විසිරයනු ලැබූ කමාන්ඩෝ සෙබළුන් සඳහා කණ්ඩායම් ක්‍රියාන්විත, මෙහෙයුම් සැලසුම් කිරීම, අවිආයුධ හැසිරවීම, පුපුරන ද්‍රව්‍ය භාවිතය, හදිසි අනතුරු සඳහා ප්‍රථමාධාර, ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම, ප්‍රභූ ආරක්‍ෂණ ක්‍රමවේද සහ K9 ඒකකයේ සුනඛයින් හැසිරවීම ආදී බොහෝ ක්‍රියාකාරකම් සිදුකොට ඇති අතර ඒවා උපයෝගී කරගනිමින් ඕනෑම හදිසි අවස්ථාවකදී ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට හැකියාව ලබාදී ඇත.

මෙම විසිරයාමේ පෙළපාලිය රටේ පවතින කොවිඩ් - 19 වෛරස් වසංගතය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙමින් දෙමව්පියන්ගේ සහභාගිත්වයෙන් තොරව ඉතා සරල ලෙස පැවැත්වෙනු ලැබිණි.

මෙම අවස්ථාව සඳහා 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ, කමාන්ඩෝ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වන බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ඥාණරත්න, බ්‍රිගේඩියර් අනිල් සමරසිරි සහ බ්‍රිගේඩියර් ශානක රත්නායක සහ කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් සේනාවිධායක කර්නල් ප්‍රියංකර උබේසිරිවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් එක්ව සිටියහ. jordan release date | Sneakers Nike Shoes