Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th November 2020 00:05:58 Hours

ජාතික ආරක්‍ෂක උපදේශක මට්ටමේ ත්‍රෛපාර්ශ්වික රැස්වීමේදී රටවල් ත්‍රිත්වය තම ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාවය තවත් ප්‍රවර්ධනය කරගනියි

පසුගිය සෙනසුරාදා (28) දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වූ සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ 4 වන ජාතික ආරක්‍ෂක උපදේශක මට්ටමේ ත්‍රෛපාර්ශ්වික රැස්වීම ඉන්දියානු ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් ඩෝවාල් (Shri Ajit Doval), මාලදිවයිනේ ආරක්‍ෂක අමාත්‍ය මරියා ඩිඩී මහත්මිය (Mariya Didi) සහ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ සහභාගිත්වයෙන් පැවති අතර එහිදී, ඉන්දියානු සාගරයේ සමුද්‍රීය අභියෝගයන්ට මුහුණ දීම සඳහා සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සහ පොදු අරමුණු වෙනුවෙන් එම කලාපයේ සාමය සහ ආරක්‍ෂාව සහතික කිරීමට ද එකඟ වෙමින් අවසන් විය.

මෙම රැස්වීමේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී විය. තවද, මෙම අවස්ථාවට ඉන්දියාවේ මහ කොමසාරිස්, මාලදිවයිනේ තානාපති, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික සහ ගුවන් හමුදාධිපතිවරුන්, පොලිස්පති, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බළකායේ අධ්‍යක්‍ෂ ජෙනරල්, ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හී ආරක්‍ෂක අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් රැසක් ද එක්වූහ.

මෙම රැස්වීම සඳහා ඉන්දියාවේ, මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ සමුද්‍ර ආරක්‍ෂක ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිප දෙනෙකු සහ මුරුසිය, සීෂෙල්ස්, ඉන්දියාව සහ මාලදිවයින යන රටවල නිරීක්‍ෂකයින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.

මෙම රැස්වීමේදී, පරිසරය සහ සමුද්‍ර කලාප පිළිබඳ දැනුවත්භාවය, මානුෂීය ආධාර සහ ආපදා සහන සැපයීම, ඒකාබද්ධ අභ්‍යාස පැවැත්වීම, ශක්තීන් ප්‍රවර්ධනය, සමුද්‍රීය ආරක්‍ෂාව සහ තර්ජන, සමුද්‍ර දූෂණය හා සමුද්‍ර උරුමයන් සහ කොවිඩ් - 19 වෛරසය හා සබැඳී අභියෝග ආදී ක්ෂේත්‍රවල පවත්නා සහයෝගීතාවය පිළිබඳව පුළුල්ව සාකච්ඡා කෙරිණි. මෙම අභියෝගයන්ට මුහුණදීමේදී රටවල් අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, පොදු අරමුණු සාක්‍ෂාත් කරගැනීමේ අරමුණින් කලාපයේ සාමය සහ ආරක්‍ෂාව සහතික කිරීමටත් ඔවුන් එකඟතාවය පළකලහ.

පිළිගැනීමේ දේශණය පැවැත්වූ ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ත්‍රෛපාර්ෂ්වික මට්ටමින් නිරන්තරයෙන් මෙවැනි රැස්වීම් පැවැත්වීමේ වැදගත්කම පිළිබඳව ද කරුණු අවධාරණය කළේය. එමෙන්ම, ගරු විදේශ කටයුතු අමාත්‍යතුමන් විසින් මෙහි ප්‍රධාන දේශනය පැවැත්වූ අතර ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා අවසන් දේශණය සඳහා සහභාගී වන ලදී.

රැස්වීම අවසන් වීමෙන් පසු ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් පහතින් දැක්වේ:

ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශය

සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ 4 වන ජාතික ආරක්‍ෂක උපදේශක මට්ටමේ ත්‍රෛපාර්ශ්වික රැස්වීම 2020 නොවැම්බර් මස 28 දින ඉන්දියානු ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් ඩෝවාල් (Shri Ajit Doval), මාලදිවයිනේ ආරක්‍ෂක අමාත්‍ය මරියා ඩිඩී (Mariya Didi) මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ සහභාගිත්වයෙන් කොළඹ දී පැවැත්විණි. එමෙන්ම, මුරුසිය සහ සීෂෙල්ස් රටවල් නියෝජනය කරමින් නියෝජිතයින් ද මෙම අවස්ථාව සඳහා අන්තර්ජාලය හරහා සජීවීව සහභාගී වූහ. කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අමුත්තන් වෙනුවෙන් ‘එයාර් බබල්’ (Air Bubble) සංකල්පය භාවිතා කරමින් දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව රැස්වීම පවත්වන ලදී.

ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ ත්‍රෛපාර්ශ්වික උපදේශක මට්ටමේ රැස්වීම 2011 දී ආරම්භ කළ අතර, මේ දක්වා රැස්වීම් තුනක් පවත්වා ඇත. එම රැස්වීම් ත්‍රිත්වයේ අවසන් රැස්වීම 2014 මාර්තු මාසයේ නවදිල්ලියේදී පැවැත්විණි. මෙම රැස්විමේදි සමුද්‍රීය ආරක්‍ෂාව පිළිබඳ සිදුකළ සාකච්ඡාවේදී මීට පෙර පැවැත්වූ රැස්වීම් වල සිදුකළ සාකච්ඡා සහ ඒවායේ ප්‍රතිඵල ද උපකාරි වී ඇත. ජාතික ආරක්‍ෂක උපදේශක මට්ටමේ රැස්වීම්වල තිරසාර සම්බන්ධතා සහ සාකච්ඡා ක්‍රියාත්මක කිරීමට අතිරේකව පැවැත්වූ ජාතික ආරක්‍ෂක උපදේශක මට්ටමේ රැස්වීම් ද උපකාරී වී ඇත.

මෙම රැස්වීමේදී, සමුද්‍රීය ආරක්‍ෂාව හා සම්බන්ධ පොදු කරුණු සම්බන්ධයෙන් ඉන්දියන් සාගර කලාපය තුල සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම රැස්වීමේ ඇති වැදගත්කම හඳුනාගැනීම, රටවල් ත්‍රිත්වය කලාපයේ වත්මන් සමුද්‍රීය ආරක්‍ෂක පරිසරය පිළිබඳ තොරතුරු ලබාගැනීම සහ සමුද්‍රීය කලාප දැනුවත් කිරීමේ ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳව ද සාකච්ඡා කරන ලදී. තවද, මානුෂීය ආධාර සහ ආපදා සහන සැපයීම, ඒකාබද්ධ අභ්‍යාස පැවැත්වීම, ශක්තීන් ප්‍රවර්ධනය, සමුද්‍රීය ආරක්‍ෂාව සහ තර්ජන, සමුද්‍ර දූෂණය හා සමුද්‍ර උරුමයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම අභියෝගයන්ට මුහුණදීමේදී රටවල් අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, පොදු අරමුණු සාක්‍ෂාත් කරගැනීමේ අරමුණින් කලාපයේ සාමය සහ ආරක්‍ෂාව සහතික කිරීමටත් ඔවුන් එකඟ වූහ.

එමෙන්ම, මෙම රටවල් ත්‍රිත්වය පොදු ආරක්‍ෂක තර්ජන පිළිබඳ අදහස් හුවමාරු කරගනිමින් බුද්ධි අංශ වැඩිදියුණු කිරීම සහ ඒ හා සම්බන්ධ ගැටළු, ත්‍රස්තවාදය, රැඩිකල්කරණය, අන්තවාදය, මත්ද්‍රව්‍ය, ආයුධ සහ මිනිස් ජාවාරම්, මුදල් විශුද්ධිකරණය, සයිබර් ආරක්‍ෂාව සහ සමුද්‍රීය පරිසරයට සිදුවන දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම වැනි කරුණු ද මෙහිදී සාකච්ඡාවට ගැණිනි.

රැස්වීමේදී ගනු ලැබූ තීරණ කාලානුරූපව නිතිපතා බෙදාහදා ගැනීම, සාකච්ඡා කිරීම සහ සහතික කිරීම සඳහා රැස්වීමට සහභාගී වූ නියෝජිතයින් එකඟ වූහ. මෙහෙයුම් මට්ටමේ සහයෝගීතාවය සඳහා ජාතික ආරක්‍ෂක උපදේශක මට්ටමේ ක්‍රියාකාරී කණ්ඩායම් විසින් වර්ෂ දෙකකට වරක් රැස්වීම් පැවැත්වීමට ද ඔවුන් තීරණය කළහ. (නිමි) Running sports | Women's Sneakers