27th November 2020 17:33:17 Hours
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීමට නියමිත සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ 4 වන ජාතික ආරක්ෂක උපදේශක මට්ටමේ ත්රෛපාක්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා සිකුරාදා (27) දින උදෑසන කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත සපැමිණි ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් ඩෝවාල් (Shri Ajit Doval) ඇතුළු පිරිස ඉන්දියානු මහකොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ (Gopal Buglay) සමඟින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
දෙදිනක් (27–28) පුරාවට පැවැත්වෙන මෙම හමුවේදී ඉන්දියානු සාගර කලාපය, මාලදිවයින සහ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාවය පිළිබඳ පුළුල්ව සාකච්ඡා කෙරෙණු ඇත.
මෙම අවස්ථාව වෙනුවෙන් සපැමිණි ඉන්දියානු ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් ඩොවෙල් ගේ නායකත්වයෙන් යුත් ඉන්දියානු දූත පිරිසට නියෝජ්‍ය හමුදා උපදේශක රියර් අද්මිරාල් (විශ්‍රාමික) මොන්ටි කන්නා (Monty Khanna) අමිත් නාරං (Amit Narang) මහතා අක්ෂේ ජෝෂී (Akshey Joshi) මහතා, අකිලේෂ් ජින්දාල් (Akilesh Jindal) මහතා සහ තේජාල් චන්දාන් (Tejal Chandan) මෙනවිය ඇතුළත් විය. මෙම හමුව සඳහා ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශක, මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍ය මරියා ඩිඩී (Mariya Didi) සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න යන මහත්වරුන් ද සහභාගී වෙති. තවද, මෙම අවස්ථාව සඳහා නිරීක්ෂකයින් ලෙස බංගලාදේශය, මුරුසිය සහ සීෂෙල්ස් යන රටවල් නියෝජනය කරමින් නියෝජිතයින් ද සහභාගී වේ යැයි අපේක්ෂා කෙරේ. මෙම ඉන්දියානු දූත පිරිස පිළිගැනීම සඳහා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ ඉන්දියානු තානාපති කාර්යාල නිලධාරින්, යුද්ධ හමුදා අධ්යක්ෂ ජෙනරල් මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ප්‍රදීප් සිල්වා ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ගුවන්තොටුපල වෙත පැමිණ සිටියහ.
මෙම දෙදින හමුවේදී සමුද්‍රීය ආරක්ෂාව, නෛතික පාලන තන්ත්රයන්, පුහුණුව, නිරීක්ෂණය සහ මුදවාගැනීම, දූෂණය, තොරතුරු හුවමාරු කරගැනීම, මුහුදු කොල්ලකෑම්, මත්ද්‍රව්‍ය, ආයුධ සහ ඉන්දියානු සාගර කලාපයේ නීතිවිරෝධී ජාවාරම් වැනි කරුණු පිළිබඳ පුළුල්ව සාකච්ඡා කිරීමට නියමිතව ඇත.