Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th August 2020 19:42:51 Hours

53 වන සේනාංකයේ 25 වන සංවත්සර සැමරුම අති උත්කර්ෂවත් අන්දමින් සමරයි

වර්ෂ 2020 මැයි මාසයට පෙර රුදුරු ත්‍රස්තවාදීන් සමඟ පැවැති යුද සමයේ උච්චතම අවස්ථාව වනවිට සටන් මෙහෙයුම්වල පෙරමුණේ සිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 53 වන සේනාංකයේ 25 වන සංවත්සරය අද (24) දින දඹුල්ල ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී එම සේනාංකයේ හිටපු සේනාංකාධිපතිවරුන් දෙදෙනෙක් වන ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි‍, යුද්ධ හමුදාධිපති හා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් පැවැත්විණි.      

53 වන සේනාංකයේ වත්මන් සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත සේනාරත්න ගේ අධීක්‍ෂණය සහ මඟපෙන්වීම මත එම සේනාංකය යටතේ ස්ථාපිත බලඇණි සහ සියළු ඒකකයන්ගේ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලැබූ මෙම සංවත්සර සැමරුම් උත්සවය ආගමික වතාවත් සහ ප්‍රජා සත්කාර ව්‍යාපෘති සඳහා මූලිකත්වය දෙමින් මීට සති දෙකකට පමණ ප්‍රථම ආරම්භ කරනු ලැබීය‍.            

අද (24) දින පැවැති සංවත්සර උත්සවයට සපැමිණි මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. එම අවස්ථාවට සපැමිණි සම්භාවනීය අමුත්තන් දෙපළ එම සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරයෙ පිරිනැමිම සඳහා සරඹ භූමිය වෙත කැටුව යන ලදී. පසුව, වර්ණවත් සම්මාන මුරයේ ගෞරවාචාරය සම්භාවනීය ආරාධිතයින් වෙත පිරිනමනු ලැබීය.

මීට වසර කිහිපයකට පෙරාතුව එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මාතෘ භූමීය මුදවාගැනීමේ යුද ජයග්‍රහණය වෙනුවෙන් අමිළ මෙහෙවරක් ඉටු කළ 53 වන සේනාංකයේ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ ගුණානුස්මරණ උත්සවයට සහභාගී වූ සියළුදෙනා විනාඩියක නිශ්ෂබ්දතාවයක් පවත්වමින් යුද්ධයෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන්ට සිය ගෞරවාචාරය පුදකරනු ලැබුහ‍. ඉන් අනතුරුව, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත සේනාරත්න විසින් එම උත්සවයේ පිළිගැනිමේ කථාව සිදු කළේය.

එදින උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් වූ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පුරා වසර 25 ක කාල පරාසයක් තුළ එම යුද ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය නායකත්වය ලබාදෙමින් දැක් වූ මහඟු මෙහෙවර පිළිබඳව කරුණු වැඩිදුරටත් සමාලෝචනය කරමින් 533 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත ජයසුන්දර විසින් හරවත් දේශනයක් මෙහිදී සිදු කරන ලදී.            

එමෙන්ම, 53 වන සේනාංකය වසර 25ක කාලයක් පුරාවට අත්පත් කරගන්නා ලද සුවිශේෂි යුද ජයග්‍රහණයන් ඇතුළත් වාර්තාමය විඩියෝ දර්ශනයක් මෙහිදී රැස්ව සිටි පිරිස වෙනුවෙන් ප්‍රදර්ශන කරන ලද අතර, මෙම අවස්ථාවට සමගාමීව එම යුද ජයග්‍රහණයන් පිළිබඳ ඓතිහාසික ඡායාරූප හා වටිනා තොරතුරු රැසක් ඇතුළත් ග්‍රන්ථයක් ද එළිදැක්විය.

එදින උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් දෙපළ වෙනුවෙන් විශේෂයෙන් රචනා කරන ලද මෙම සුවිශේෂි ග්‍රන්ථයේ “විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න එකී මානුෂික මෙහෙයුම වෙනුවෙන් සිදු කරන ලද අධිෂ්ඨානශීලි කැපවීම හා නායකයෙකු ලෙස දැක්වූ විශිෂ්ඨ මෙහෙවර මෙන්ම ඔහු සතු නායකත්ව ගුණාංග ඔහුගේ සම වයසේ මිතුරන් අතරේ ද ප්‍රශංසාවට ලක්විය. යුද්ධයේ උච්චතම අවස්ථාව කරා ලගාවෙමින් සිටියෙදී මාතෘ භූමියෙන් ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමිම සඳහා 53 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස වඩාත් කැපි පෙනෙන යුග මෙහෙවරක නියැලීමට මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සමත් වී තිබිණි. එමෙන්ම යුද ජයග්‍රහණයන් අත්පත් කර ගැනීම සඳහා රණ බිම තුළ සිදු කරනු ලැබු යුද මෙහෙයුම් වේගවත් කිරීමට මනා ඉදිරි දැක්මක් සහිතව එතුමන් ලබාදුන් නායකත්වය තුළින් භටයින්ට ධෛර්යයෙන් හා විශ්වාසයෙන් යුතුව ඉදිරියට යාමට හැකි විය.” යනුවෙන් සඳහන් කර ඇත.

එමෙන්ම මෙදින එළිදක්වන ලද මෙම වටිනා ග්‍රන්ථය රණබිමේ ප්‍රවීණයෙකු ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිදු කළ අනගිභවනීය මහඟු මෙහෙවර මනාව පිළිබිඹු කරන කැඩපතක් බදු අතර, එහි මාතෘභූමියට සාමය උදාකරලීම වෙනුවෙන් ඔහු සිදු කළ විශිෂ්ඨ කැපවීම මැනවින් සටහන් කර තිබේ. තවද, යුද ප්‍රවීණයෙකු ලෙස රටේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් තම කැපකිරීම උපරිමය සිදු කළ ජ්‍යෙෂ්ඨතම නිලධාරීයෙකු ලෙස ඔහු සිදු කළ අප්‍රතිහත කැපවීම පාඨක සිත්සතන් තුළ මැනවින් චිත්‍රනය කිරීමට ද එම ග්‍රන්ථ කතුවරයා සමත් වී ඇත. නොකඩවා එල්ලවන සතුරු ප්‍රහාරයන් හමුවේ රහසිගතව හා සුක්‍ෂම අයුරින් ප්‍රති ප්‍රහාරයන් දියත් කරමින් ත්‍රස්තවාදී බලමුළු සිඳ බිද දමා දිවයිනට සාමය උදාකරලීමට මහත් වෙහෙසක් දැරු වීරෝදාර සෙන්පති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ වීර වික්‍රමයන් ද මෙම ග්‍රන්ථයට ඇතුළත්ව තිබේ. තවද ත්‍රස්තවාදයට එරෙහිව තිස් වසර යුද්ධය සාර්ථකව නිමා කිරිමෙන් අනතුරුව 53 වන සේනාංකයේ 22 වන සේනාංකාධිපති මෙන්ම 53 වන සේනාංකයේ අතිරේක ප්‍රහාරක බලකායේ අණදෙන නිලධාරී ලෙස එතුමන් සිදු කළ කාර්යභාර්ය ද මෙම සුවිශේෂි ග්‍රන්ථයට ඇතුලත්ව තිබේ.

ඉන් අනතුරුව, ආරක්‍ෂක ලේකම් රැස්ව සිටි පිරිස අමතමින් තම අදහස් ප්‍රකාශ කරමින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම වෙනුවෙන් 53 වන සේනාංකය දැක්වු දායකත්වය සහ එම සේනාංකයේ භටපිරිස් සතුරා භිතියට පත්කරන බලවේගයක් බවට පත් වූ ආකාරය පිළිබඳ සිය මතකයන් ආවර්ජනය කළේය. එමෙන්ම ශ්‍රී ලංකා ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් වු එම සුවිශේෂි මොහොතට 53 වන සේනාංකයේ 15 වන සේනාංකාධිපති වශයෙන් සියළු සතුරු අභියෝගයන්ට නොබියව පුර්ණ ශක්තියෙන් යුතුව මුහුණ දීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් ඇතුළු භටපිරිස් සමත් වූ බවත්, එම සාමුහික උත්සාහයන් හේතුවෙන්ම මිලේච්ඡ කොටි ත්‍රස්තවාදීන්ට තීරණාත්මක අභියෝගයක් එල්ල කරමින් මෙරටින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට වීරෝදාර රණවිරුවන්ට හැකි වූ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. මෙහිදි ගජබා රෙජිමේන්තුවෙන් මෙන්ම 53 වන සේනාංකයෙන් තමන් නිරන්තරයෙන් ලද අඛණ්ඩ සහයෝගය පිළිබඳව ද ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදි සිහිපත් කළේය.

53 වන සේනාංකය, ගුවන් සංක්‍රමික බලසේනාව සහ යාන්ත්‍රික පාබල බලසේනාව දක්ෂ සෙබළුන්ගෙන් සන්නද්ධව සිටින අතර ප්‍රභූ ආරක්‍ෂාව සඳහා කමාන්ඩෝ භටයින්ට සහ විශේෂ බලකා භටයින් සන්නද්ධව සිටියහ. එහිදි, 53 වන සේනාංකය යටතේ සේවය කර කුරිරු යුද්ධයෙන් දිවිපිදු සහ තුවාල ලැබූවන් මෙන්ම විශ්‍රාම ගිය සියලු වීරෝදාර රණවිරුවන්ට ද එතුමන්ගේ ඉහළම ගෞරවාදරය මෙම අවස්ථාවේ පුද කර සිටියේය.

මෙම උත්සවයේ සම්භාවනීය ආරාධිත අමුත්තන් වශයෙන් සපැමිණ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත සේනරත්න විසින් විශේෂ සමරු සිහිවටනයන් ප්‍රදානය කළේය.

මෙහිදි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියේ, අතිගරු ජනාධිපතිතුමන්, සෞඛ්‍ය බලධාරීන් ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන්ගේ මඟ පෙන්වීම මත කොවිඩ් 19 වෛරසය පැතීරීම වැළැක්වීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි. ඒ අනුව, තරු පන්තියේ හෝටල් සංකීර්ණයන්ට පමණක් සීමා නොවි මධ්‍යම පන්තියේ හොටල් සංකීර්ණයන් වෙත ද නිරෝධායනය කිරීම වෙනුවෙන් පුද්ගලයින් යොමුකිරීමට කටයුතු යොදා ඇති අතර එම ක්‍රියාවලිය සැලසුම් කළ පරිද්දෙන් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි බවට තමා දැඩි සේ විශ්වාස කරන බව ද යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කරමින් මෙම අවස්ථාවට සහභාගි විශේෂ ආරාධිත අමුත්තන් දෙපළ එම කඳවුරු පරිශ්‍රයේ පැළ සිටුවීමකට ද එක් වූ අතර ඉන් අනතුරුව පැවති සියළු නිල තේපැන් සංග්‍රහයකට ද සහභාගී වූහ. පසුව සේනාංකාධිපති විසින් කරන ලද ඉල්ලීමක් මත මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපළ එම සේනාංකයේ විශේෂ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහන් ද තැබීය. මෙම අවස්ථාව සඳහා 531, 532 සහ 533 බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින් ඇතුළු තවත් සම්භාවනීය ආරාධිතයින් පිරිසක් ද සහභාගී වුහ.

වර්ෂ 1995 අගෝස්තු මස 24 වන දින මාතෘභූමියට සාමය උදාරකරලීම සඳහා වූ තීරණාත්මක සන්ධිස්ථානයකදී දිවංගත බ්‍රිගේඩියර් ජානක පෙරේරාගේ මඟපෙන්වීම මත 53 වන සේනාංකය පිහිටවූ අතර එතුමන් එම සේනාංකයේ 1 වන සේනාංකාධිපති වේ. Sports brands | jordan Release Dates