Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th August 2020 12:07:51 Hours

කොවිඩ් - 19 වෛරසය මැඩලීම වෙනුවෙන් සහ වන්නි ප්‍රදේශයේ අත්කරගත් ජයග්‍රහණ සබැඳිව යුද්ධ හමුදාධිපතිතුමන්ට පැසසුම්

කොවිඩ් - 19 වෛරසය හමුවේ සිදුකරනු ලැබු මහඟු කාර්යභාරය සහ වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම යුද විරුවෙකු වශයෙන් වන්නි ප්‍රදේශයේ මෙහෙයුම් වලදී ත්‍රස්තවාදයට එරෙහිව ලබාගත් ජයග්‍රහණ සඳහා සිදුකළ කැපකිරීම වෙනුවෙන් දෙණියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ බැතිමතුන් විසින් ඉකුත් අඟහරුවාදා (18) දින පවත්වනු ලැබූ විවිධ අංග ඇතුලත් බෞද්ධ ආගමික උත්සවයකදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැසසුමට ලක් විය.

එම විහාරස්ථානයේ එළිමහන් පරිශ්‍රය තුළ පැවැති උත්සවයේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එතුමන් එම ස්ථානයට සම්ප්‍රාප්ත වීමෙන් අනතුරුව එම විහරස්ථානයේ බුදු මැදුරෙහි පිහිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා ශාකසාර විශේෂ 108 කින් සමන්විත ගිලන්පස පූජාවක් සිදු කිරීම සහ පුරාණයේ සිට පැවත එන චාරිත්‍රයක් වශයෙන් පූජනීය ධාතු කරඬු වහන්සේ වැඩමවීම සදහා ද එතුමන් වෙත ආරාධනා කරනු ලැබිණි.

මෙහිදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ආශිර්වාද එක් කරමින් මහා සංඝරත්නය විසින් ‘ජය පිරිත’ සජ්ඣායනා කරනු ලැබිණි. ඉන් අනතුරුව, දෙණියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ඌරුබොක්කේ උපනන්ද හිමියන් විසින් කෙටි අනුශාසනාවක් සිදුකරමින් විහාරස්ථානයේ දායකයින්ගේ සහභාගිත්වයෙන් විහාරස්ථාන පරිශ්‍රය තුළ මෙම පූණ්‍යෝත්සවය පැවැත්වීමට හේතු පාදක වූ කාරණා පිළිබඳව පැහැදිලි කිරිමක් සිදු කළේය.

අතිගරු ජනාධිපති සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ නායකත්වය යටතේ කොවිඩ් - 19 වෛරසය හමුවේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් කරනු ලැබූ අපරිමිත කාර්යභාරය සහ යුද පිටියේදී සිදුකළ පරාර්ථකාමී භූමිකාවන් වෙනුවෙන් එහිමියන් සිය ආශිර්වාදයන් ලබාදුන් අතර, එම කර්තව්‍යයන් වෙනුවෙන් කැපවී සිටින සියළු පාර්ශවයන්ට ආශිර්වාද එක් කරන ලෙස ද උන්වහන්සේ විසින් දායක සභාවෙන් ඉල්ලා සිටින ලදී.

ඉන් අනතුරුව, මහා සංඝරත්නය විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත රන් ආලේපිත දාගැබක අනුරුවක් ද තිළිණ කළේය. පසුව, එම පරිශ්‍රයට රැස්ව සිටි පිරිස වෙනුවෙන් ප්‍රධාන ආරධිත අමුත්තා විසින් ඖෂධ පැළෑටි පිරිනැමූ අතර, එහිදි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත කුඩා ළමුන් විසින් සිතුවම් කරන ලද එතුමන්ගේ සිතුවම් ආදිය ද පිරිනමනු ලැබිණි.

මෙම අවස්ථාවේ සිදු වූ තවත් එක් සුවිශේෂි අංගයක් ලෙස මෙම උත්සවය සඳහා සහභාගී වූ දිළිඳු පුද්ගලයින් වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් වියළි සළාක පාර්සල් 100 ක් බෙදාදුන් අතර, එම බැතිමතුන් හා දරුවන් සමඟ සුහඳ පිළිසඳරක නිරතවීමට ද යුද්ධ හමුදාධිපතිතුමන් කටයුතු කළේය.

මෙම පුණ්‍යෝත්සවය සඳහා ප්‍රදේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ. Sports Shoes | Air Jordan 1 Mid - Collection - Sb-roscoff