Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th July 2020 13:16:02 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිවුන් සහෝදර මේජර් ජෙනරාල්වරුන් දෙපල ‘ගිනස් ලෝක වාර්තා පොතට’ ඇතුලත්වීම සඳහා ඉල්ලුම් කරති

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරනු ලබන නිවුන් සහෝදරයන් දෙපලක් වන මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපල ‘ගිනස් ලෝක වාර්තා පොතට’ ඇතුළත් කිරීම සඳහා අදාල ලියකියවිලි භාරදීමේ උත්සවය අද (30) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

වසර 71 ක අභිමානවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයට සහ ලෝක ඉතිහාසයට නව පිටුවක් එක්කිරීමේ අරමුණින් පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. තවද, මෙම අවස්ථාව සඳහා ගිනස් පොත් වාර්තා පිලිබඳ ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිත ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ජාතික මෙහෙයුම් කවුන්සිලයේ සභාපති සමන් අමරසිංහ මහතා සමගින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් රැසක් සහභාගි වූහ.

එකම දිනක උපත ලබමින්, එකම දිනක පාසලට ඇතුලත්ව, උසස් පෙළ දක්වා එකම පන්තියක අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව එකම දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්ව, එකම දින අධිකාරියට පත්ව පකිස්තානයේ ක්වේටා (Quetta) හි විදේශීය පාඨමාලාවක් හදාරා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ එකම දින උසස්වීම් ලැබූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි, ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති හා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න යුද්ධ හමුදා දිවියෙන් ද එකම දින විශ්‍රාම ගැනීමට නියමිතය.

බ්‍රහස්පතින්දා (30) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මෙම විධිමත් උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව ආරම්භ කෙරුණු අතර ගිනස් ලෝක වාර්තා පිළිබඳ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ජාතික මෙහෙයුම් කවුන්සිලයේ සභාපති සමන් අමරසිංහ මහතා විසින් මෙහිදී හඳුන්වාදීමේ දේශනය සිදුකරමින් ගිනස් වාර්තා පොතට ඇතුලත් කිරීම සඳහා අවශ්‍ය නිර්ණායක පෙන්වාදුන් අතරම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපල ඒ සඳහා සම්පුර්ණ කළයුතුවන්නේ කෙසේදැයි සඳහන් කළේය.

ඉන් අනතුරුව, දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සියලුදෙනා අමතමින් සිදු කළ සිය දේශනයේදී, “මෙම නිවුන් සොහොයුරන්ගේ දෙමව්පියන්ට එම පුතුන් දෙදෙනා පෝෂණය කොට යුද්ධ හමුදාව වෙත ඇතුලත් කිරීම වෙනුවෙන් විශේෂ උපහාරයක් පුද කරන අතරම ඔවුන් දෙදෙනා යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් තනතුරට පත්ව යුද්ධ හමුදා වෘත්තියේ ඉහළටම පැමිණීම පිළිබඳව මම ඔවුන්ට සුබපතමි.” යැයි පැවසීය. මෙම ඓතිහාසික අවස්ථාවට යුද්ධ හමුදාවේ ආරාධනයෙන් යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණිම පිළිබඳව ශ්‍රී ලංකාවේ ගිනස් වාර්තා නියෝජත සමන් අමරසිංහ මහතාට ද සිය ස්තූතිය පුද කළේය.

ඉන් අනතුරුව, නිවුන් සහෝදරයන් දෙපලගේ හමුදා දිවිය හා සිවිල් ජිවිතය පිළිබඳ කෙටි විඩියෝ පටයක් ද මෙහිදි ප්‍රදර්ශනය කළ අතර පසුව, ගිනස් වාර්තා පොතට ඇතුලත් කිරීම සඳහා සුදුසුකම් ලබාගැනීමට නිවුන් සහෝදරයන් දෙපළ විසින් නිල ලිපිලේඛණවලට අත්සන් තැබුහ.

මෙම උත්සවයේදී, රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයේ නිල නියෝජිත සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල් ලක්ෂිකා ගනේපොල මහත්මිය නිවුන් නිලධාරීන් දෙපලගේ උප්පැන්න සහතික දෙකක් සහතික කර ජාතික ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ගිනස් ලෝක වාර්තා පිළිබඳ මෙහෙයුම් කමිටුවේ සභාපති වෙත භාර දුන්නේය.

පසුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගිනස් වාර්තාවට අවශ්‍ය නිවුන් සහෝදරයන් දෙපලගේ යුද්ධ හමුදාවට අදාල නිල ලේඛණ සැබෑ පිටපත් ලෙසට සහතික කොට ගිනස් වාර්තා කමිටු නියෝජිතයා වෙත නිල වශයෙන් භාරදෙන ලදී. එමෙන්ම, ගිනස් ලෝක වාර්තාවට සුදුසුකම් ලැබීමට ගත් උත්සාහය අගයමින් සමන් අමරසිංහ මහතා නිවුන් සහෝදරයන් දෙපල වෙත ඇගයීම් ලිපි දෙකක් ද මෙහිදී ප්‍රදානය කළේය.

උත්සව කටයුතු අවසානයේ, නිවුන් සහෝදරයන් දෙපල වෙනුවෙන් ස්තූතියි කථාව මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න විසින් සිදුකළේය. මෙම උතසවය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සභාගි වූහ.

නිවුන් මේජර් ජෙනරාල්වරුන්ගේ ජීවදත්ත තොරතුරු පහතින් දැක්වේ:

හිදැල්ලන ජානසීහ සෙනෙවිරත්න ආදරණීය පියාණන්ට දාව සිංහවත්ත ලීලා සෙනෙවිරත්න ආදරණීය මෑණියන්ගේ කුසින් වර්ෂ 1965 සැප්තැම්බර් මස 06 දින මෙලොව ජන්මලාභය ලැබූ හිදැල්ලන පූරක සෙනෙවිරත්න සහ හිදැල්ලන ජයන්ත සෙනෙවිරත්න රත්නපුර සීවලි මධ්‍යම විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හැදෑරීය. පාසල් දිවිය පුරාවටම සිය අධ්‍යාපන කටයුතු එක්ව සිදුකළ ඔවුන් එකම පන්තියේ සිට සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමෙන් අනතුරුව වර්ෂ 1980 දි උසස් පෙළ අධ්‍යාපනය වෙනුවෙන් ගණිත විෂය ධාරාව තෝරාගෙන තිබිණි. සිය පාසැල් දිවිය පුරාවට කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක සංගමයේ සාමාජිකයින් වූ ඔවුන් ක්‍රීඩා සහ අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් රාශියකට ද සහභාගී වී ඇත‍.

ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔවුන් දෙපළ වර්ෂ 1985 ඔක්තෝබර් මස 31 දින කෙඩෙඩ් නිලධාරී පාඨමාලා අංක - 22 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලසේනාව වෙත එක්වූහ. ඔවුන් දෙපළ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ පාකිස්තානයේ මංගලා (Mangla) නිලධාරි පුහුණු පාසල වෙතින් මූලික යුද පුහුණුව හදාරනු ලැබීය. මූලික යුද පුහුණුව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔවුන් දෙපළ වර්ෂ 1986 ජූලි මස 24 දින පාකිස්තානයේදී දෙවන ලුතිනන්වරුන් ලෙස අධිකාරියට පත් කරන ලදී. ඉන් අනතුරුව‍, පාකිස්ථානයේ ක්වේටා හි තරුණ පාබල හමුදා නිලධාරි පාඨමාලාව ද හැදෑරීය. එම පාඨමාලාව හැදෑරිමෙන් අනතුරුව, එම නිලධාරීන් දෙපළ එකම කණ්ඩයේ අධ්‍යාපනය හැදෑරූ අතර එකවරම පාඨමාලාව හදාරා සාර්ථකව අවසන් කර නැවත සියරට බලා පැමිණියහ.

අධිකාරියට පත් වීමෙන් අනතුරුව, මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න ශ්‍රී ලංකා සංඥා බලකායටත්, මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවටත් අනුයුක්ත කරන ලදී. කෙසේ වෙතත්, රෙජිමේන්තු දෙකක සේවය කලද ඔවුන් විවිධ ඒකකයන් හා මූලස්ථානවලදී විවිධ දක්‍ෂතාවයන් එළිදක්වමින් එකට සේවය කළහ. වඩා විශ්මය ජනක කරුණක් නම්, දෙවන ලුතිනන් නිලයේ සිට මේජර් ජෙනරාල් නිලය දක්වාම ඔවුන්ගේ උසස්වීම් ද එකම දිනයක හිමිවීමයි. ලෝක ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් වර්ෂ 2018 සැප්තැම්බර් 06 දිනට යෙදි තිබුණු ඔවුන් දෙපලගේ 53 වන ජන්ම දිනයේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපල මේජර් ජෙනරාල් නිලයට උසස්වීම ලැබීමයි. කෙඩෙට් නිලධාරීන් ලෙස ලෝකයේ හමුදාවකට බැඳි එකම දිනක මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලබන තුරු ක්‍රමයෙන් නිලයෙන් නිලයට උසස්වීම් ලබමින් සිටින පළමු නිවුන් සහෝදරයින් දෙපළ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපළ විය හැකිය. මෙම කීර්තිමත් නිලධාරින් දෙපළගේ 55 වන ජන්ම දිනය සමරනු ලබන වර්ෂ 2020 සැප්තැම්බර් මස 06 දිනට වසර 35 ක ආදර්ශමත් සේවා කාලයක් සම්පූර්ණ කිරිමෙන් අනතුරුව යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට ද නියමිතය. latest Nike Sneakers | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf