Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st July 2020 19:08:50 Hours

නව නාවික හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා හරසර මැද යුද්ධ හමුදා මූලස්ථානය වෙත පිළිගැනේ

නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස අභිනවයෙන් රාජකාරි ඇරඹූ වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (21) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ සිය ප්‍රථම නිල හමුව පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි නාවික හමුදාධිපතිතුමන් ප්‍රධාන දොරටුව අභියසදී යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි කර්නල් ඉන්දික පෙරේරා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු ආරක්‍ෂක මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබිණි.

අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් චූල අබේනායක විසින් හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන මුරය පිළිගැනීම සඳහා දිනයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වන නාවික හමුදාධිපතිතුමන් වෙත ආරාධනා කරනු ලැබූ අතර, එහිදි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භටපිරිස් විසින් නාවික හමුදාධිපතිතුමන් වෙත ගෞරවාචාර දක්වනු ලැබූහ.

පසුව යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි නාවික හමුදාධිපතිතුමන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව එම අවස්ථාවට එක්ව සිටි යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔහු වෙත හඳුන්වා දෙනු ලැබීය.

ඉන් අනතුරුව, හමුදාධිපති දෙපල අතර හමුදාධිපති කාර්යාලයේදී පැවති සුහද හමුවේදී අතීත මතකයන්, අවබෝධාත්මක බැඳීම් සහ සුහදතාවන් සිහිපත් කරමින් අනාගතයේ දී ජාතික ආරක්‍ෂාව පිළිබඳ භාරකරුවන් වශයෙන් ද සමීප සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබදවද සාකච්ඡා කරනු ලැබූහ. සුහඳ පිළිසඳර නිමාවත් සමඟ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා නාවික හමුදාධිපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ අතර එහිදී නාවික හමුදාධිපතිතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සිය සුභපැතුම් එක් කළේය.

වැඩසටහනේ නිමාව සනිටුහන් කරමින්, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යුද්ධ හමුදාධිපති කාර්යාලයේ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් තබමින් මෙවන් උණුසුම් පිළිගැනීමක් ලබාදීම පිළිබදව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සිය කෘතඥතාවය පළ කළේය.

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 ජුලි 15 දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත් කරන ලදි.

1985 වර්ෂයේ 13 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිළධාරියෙකු වශයෙන් නාවික හමුදාවේ විධායක අංශයට එක් වූ ඔහු සිය මූලික පුහුණුව ත්‍රීකුණාමලයේ පිහිටි නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් ලබා ගැනීමෙන් අනතුරුව, 1987 වර්ෂයේ ජනවාරි 07 වන දින උප ලුතිනන්වරයෙකු වශයෙන් අධිකාරියට පත් වී එතැන් සිට ක්‍රමාණුකූලව උසස්වීම් ලබමින් 2015 ජුලි 01 වන දින රියර් අද්මිරාල් නිලයට උසස්වීම් ලැබීය.

වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, කොළඹ රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන අතර, පාසැල් ශිෂ්‍ය නායකයෙකු වශයෙන් සිය නායකත්ව හැකියාවන් ප්‍රදර්ශනය කර ඇති ඔහු පාසැල් ශිෂ්‍යභට අනුඛණ්ඩයේ සාමාජිකයෙක් ලෙසද හර්මන්ලූස් (Hermann Loos) කුසලානය දෙවරක් දිනාගැනීම‍‍‍ට සමත් වූ ශිෂ්‍යභට අනුඛණ්ඩය නියෝජනය කළ කණ්ඩායම් ක්‍රියාකාරි සාමාජිකයෙකි. Sneakers Store | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth