Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th July 2020 19:14:10 Hours

“තවදුරටත් සෞඛ්‍යාරක්‍ෂිත උපදෙස් පිළිපදින්න, අසත්‍ය තොරතුරු හා ව්‍යාජ කටකතා විශ්වාස නොකරන්න” කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි පවසයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින පස්වරුවේ රාජගිරියේ පිහිටි කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී, සියලුම බලධාරීන් සත්‍ය සංඛ්‍යාලේඛන හා නිවැරදි තොරතුරු, පළමු කොවිඩ් ආසාදිතයා වර්තා වූ මාර්තු මස සිට මේ දක්වා මහජනතාව වෙත ඉදිරිපත් කර ඇති බවත් වඩාත් ප්‍රවේශමෙන් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන සෞඛ්‍යාරක්‍ෂිත උපදෙස් පිළිපැදිය යුතු බවත් අසත්‍ය තොරතුරු හා ව්‍යාජ කටකතා වලට නොරැවටෙන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියහ.

කොවිඩ්-19 වෛරසය ආසාදිත වැලිකඩ රැඳවියා පසුගියදා හඳුනාගැනිමට හේතු වූ කරුණු සොයා බැලීම, පසුව ජුලි මස 7 වෙනිදා වැලිකඩ බන්ධනාගාරයේ PCR පරික්‍ෂණ 312 ක් සිදුකිරීම මෙන්ම සියලු සෞඛ්‍ය බලධාරීන් හා ත්‍රිවිධ හමුදාව වෛරසය පැතිරයාම වැළැක්විම සඳහා සටන් කළ ආකාරය පිළිබඳ සිහිපත් කළ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, විශේෂයෙන් සුදුවැල්ල, අළුත්කඩේ, අළුත්ගම, බේරුවල වැනි ප්‍රදේශවලින් වෛරසය ආසාදිත පුද්ගලයින් සහ නාවික හමුදා සෙබළුන් හා විදේශිය රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන 48 ට වඩා වැඩි ප්‍රමාණයක් දිවයින පුරා ස්ථාපිත කළ අතර වෛරසය දිවයිනෙන් තුරන් කර අපේ අපේක්‍ෂිත ඉලක්කය කරා ළඟාවීමට අපට අවශ්‍ය නම්, දැඩි වෛද්‍ය උපදෙස් අනුගමනය කර රටේ ‘ශ්‍රේෂ්ඨ පුරවැසියෙකු’ ලෙස සියලු බලධාරීන් සමඟ අඛණ්ඩ සහයෝගයෙන් කටයුතු කරන ලෙස සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

“පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කන්දකාඩු සහ සේනපුර ප්‍රදේශයේ අධිකරණ අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යන මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනුරුත්ථාපන මධ්‍යස්ථාන දෙකක් පවත්වාගෙන යන අතර එහි පුනරුත්ථාපන රැඳවියන් සහ කාර්ය මණ්ඩලය 1150 ක් පමණ කඳවුර තුළ සිටියි. මෙය නිරෝධායන මධ්‍යස්ථාන නොවන නමුත් අධිකරණ නියෝග මත යොමු කරන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ වෙනත් අය ප්‍රතිකාර හා පුනරුත්ථාපනය කරනු ලබයි. අධිකරණ අමාත්‍යාංශය යටතේ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් විසින් පාලනය කරනු ලබන කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය මෙරට ප්‍රතිකාර හා පුනරුත්ථාපනය සඳහා ඇති විශාලතම ස්ථානය වන අතර පුනරුත්ථාපනය සඳහා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ අනෙකුත් රැඳවියන් මෙහි රඳවා ඇත. මේ ආකාරයෙන් පසුගියදා රැඳවියන් 62 ක් මෙම මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත. එබැවින්, මෙහි රැඳවියන් සහ කාර්යමණ්ඩලයේ 1150 ක් සඳහා PCR පරීක්‍ෂණ සිදු කර ඇත.”

“කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු අධිකරණ කටයුත්තක් සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙනගොස් සිටියදී සිදුකළ නියැදි පරික්‍ෂණයකදී මේ මස (07) දින කොවිඩ් - 19 වෛරසය ආසාදිතයෙකු වශයෙන් තහවුරු විය. ඒ සමග, වැලිකඩ බන්ධනාගාරයේ ඔහු රඳවා සිටි වාට්ටුව තුළ සිටි පුද්ගලයින්ගේ නියැදි ගෙන PCR පරික්‍ෂණ 700 ක් පමණ සිදුකළ අතර ඒ අතරින් කිසිවෙකුට කොවිඩ්- 19 වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු විය. එදිනම (07), එම පුද්ගලයා පුනරුත්ථාපතනය සඳහා රඳවා සිටි කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්හි සියලුම පුද්ගලයින් PCR පරික්‍ෂණ සඳහා භාජනය කළ අතර එම මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 57 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය. එම පුද්ගලයින් අතරින් එක් කාන්තාවක් එම මධ්‍යස්ථානයේ උපදේශකවරියක් ලෙස සේවය කළ අතර මාරවිල ප්‍රදේශයේ පදිංචි ඇය නිවාඩු ලබා සිටියේය. ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් විගසම, ඇගේ දෙමාපියන්, පවුලේ සාමාජිකයන් සහ ඇගේ සමීපතයින් PCR පරීක්‍ෂණ සඳහා යොමු කර ඇති අතර ඔවුන්ගේ වාර්තාවන් ලැබෙන තුරු ඔවුන් සියලුදෙනා යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව” යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් පැවසීය.

“කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවකයෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී හඳුනාගැනීමෙන් පසුව අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ 11 හැවිරිදි දරුවෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට ද අනාවරණවී ඇත. ඒ පිළිබඳ සොයා බැලිමේදී එම පුද්ගලයා රාජාංගනය යයා - 5 ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී පසුව දානමය පිංකමටකට ද සහභාගි වී ඇති අතර එම අවස්ථාවට සහභාගි වූ පුද්ගලයින් 230 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. “මෙම සිදුවීම ජූලි මස 1 සිට 4 දින දක්වා කාලය තුළ සිදුවී ඇති අතර පියා සහ දරු දෙදෙනා ප්‍රතිකාර සඳහා රොහල් ගත කිරීමෙන් පසුව රාජාංගනය ප්‍රදේශයේ අවශ්‍ය සියලු පූර්වාරක්‍ෂක ක්‍රියාමාර්ග ගෙන ඇති බව” යුද්ධ හමුදාධිපතිතුමන් පවසයි.

“අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ඊයේ (09) දින රාත්‍රියේදී යුද්ධ හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව එම පුනරුත්ථාපන මධ්‍යස්ථානය අසළ පිහිටි යුද්ධ හමුදාව මඟින් පාලනය වන කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වහාම ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයන් 500 කට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට හැකි පරිදි එම කඳවුර ක්ෂේත්‍ර (Field) රෝහලක් බවට පරිවර්ථනය කරන ලද අතර PCR පරීක්‍ෂණවල ප්‍රතිඵල ලැබීමෙන් පසු තවදුරටත් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, අද (11) දිනයේදී උදෑසන වනවිට එම මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටි අයවළුන් අතරින් කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට මේ වනවිට තහවුරු කරගෙන ඇති සියලුදෙනා මෙම නව රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇත. පසුගිය මාස කිහිපය තුළ මොවුන්ගේ දෙමව්පියන් සහ නෑදෑ හිතමිතුරන්ට ඔවුන් මුණගැසීමට අවස්ථාවක් ලබා නොදුන් නමුත් ජුලි මස 04 දින පුනරුත්ථාපනය වන රැඳවියන් බැලීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව ඔවුන්ගේ දෙමව්පියන් සහ නෑදෑ හිතමිතුරන් 116 දෙනෙකුට අවස්ථාව ලබාදෙන ලදී. මේ වනවිට ඔවුන් සියළුදෙනාම හඳුනාගෙන ඇති අතර ඔවුන් සියළුදෙනා නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇත. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් සමහරක් අයහපත් ලෙස හැසිරෙන අතර ඇතැම් විට නීතිරීති හා ක්‍රියා පටිපාටින් නොසලකා තම අභිමතය පරිදි හැසිරෙන බැවින් මොහුන් වෙනත් රෝහල්වලට ඇතුළත් කළ හොත් අනෙක් රෝගීන්ට ද යම්කිසි බලපෑමක් ඇති වේ. එබැවින්, යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක් තාවකාලික රෝහලක් ලෙස හදිසියේම වැඩිදියුණු කරනු ලැබු බව” යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

“වෛරසය සමාජයට සම්ප්‍රේෂණය වීමේ හැකියාව අවම නමුත් PCR පරීක්‍ෂණවලින් පසු ඉදිරි දින කිහිපය තුළ එම මධ්‍යස්ථාන වල සේවය කළ පුද්ගලයින් අතරින් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් හඳුනාගත හැකිය. තවද, එම කඳවුරු තුළ රාජකාරි කරමින් සිට මේ වනවිට නිවාඩු ගොස් සිටි අනෙකුත් උපදේශකයින් සහ කාර්යමණ්ඩලය කිසිදු අවදානමකින් හෝ ප්‍රමාදයකින් තොරව නැවත ගෙන්වාගෙන නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බව” යුද්ධ හමුදාධිපතිතුමන් මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසීය. එමෙන්ම, රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සහ ජනාධිපති මාධ්‍ය ඒකකය සෑමවිටම නිවැරදි තොරතුරු මහජනතාව වෙත ගෙන ඒමට සුදානම් බැවින් අසත්‍ය තොරතුරු හා ව්‍යාජ කටකතා වලින් නොමඟ නොයන ලෙස මම මහජනතාවගෙන් ඉල්ලා සිටිමි” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් තවදුරටත් පැවසීය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තවත් එක් රෝගී පොකුරක් ලෙස හඳුනාගෙන ඇති අතර එම පොකුරු පාලනය කිරීම සඳහා හොඳම “ආයුධය” නිරෝධායනය ක්‍රියාවලිය වන බැවින් දැඩි සෞඛ්‍යාරක්‍ෂක උපදෙස් අනුගමනය කරමින් සෞඛ්‍ය බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. Nike Sneakers | Sneakers Nike Shoes