Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th July 2020 18:40:20 Hours

වෛරසය ආසාදිත පුද්ගලයින් සඳහා ප්‍රතිකාර කිරීමේ සුදානමින් හමුදා කඳවුරක් ක්ෂේත්‍ර රෝහලක් බවට පරිවර්තනය කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි පවසයි

වෛරසය ආසාදනය වී සුවය ලැබූ විදේශිය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකීකයන් සිය නිවෙස් කරා ආපසු යන බැවින් වඩාත් ප්‍රවේශම් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර වෛරසය සමාජයට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් අසත්‍ය තොරතුරු හා ව්‍යාජ කටකතා වලට නොරැවෙටෙන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එහිදි, යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් කියා සිටියේ:

“පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කන්දකාඩු සහ සේනපුර ප්‍රදේශයේ අධිකරණ අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යන මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනුරුත්ථාපන මධ්‍යස්ථාන දෙකක් පවත්වාගෙන යන අතර එහි පුනරුත්ථාපන රැඳවියන් සහ කාර්ය මණ්ඩලය 1150 ක් පමණ කඳවුර තුළ සිටියි. කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු අධිකරණ කටයුත්තක් සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙනගොස් සිටියදී සිදුකළ නියැදි පරික්‍ෂණයකදී මේ මස (07) දින කොවිඩ් - 19 වෛරසය ආසාදිතයෙකු වශයෙන් තහවුරු විය. ඒ සමග, වැලිකඩ බන්ධනාගාරයේ ඔහු රඳවා සිටි වාට්ටුව තුළ සිටි පුද්ගලයින්ගේ නියැදි ගෙන PCR පරික්‍ෂණ 700 ක් පමණ සිදුකළ අතර ඒ අතරින් කිසිවෙකුට කොවිඩ්- 19 වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු විය. එදිනම (07), එම පුද්ගලයා පුනරුත්ථාපතනය සඳහා රඳවා සිටි කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්හි සියලුම පුද්ගලයින් PCR පරික්‍ෂණ සඳහා භාජනය කළ අතර එම මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 57 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය. එම පුද්ගලයින් අතරින් එක් කාන්තාවක් එම මධ්‍යස්ථානයේ උපදේශකවරියක් ලෙස සේවය කළ අතර මාරවිල ප්‍රදේශයේ පදිංචි ඇය නිවාඩු ලබා සිටියේය. ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් විගසම, ඇගේ දෙමාපියන්, පවුලේ සාමාජිකයන් සහ ඇගේ සමීපතයින් PCR පරීක්‍ෂණ සඳහා යොමු කර ඇති අතර ඔවුන්ගේ වාර්තාවන් ලැබෙන තුරු ඔවුන් සියලුදෙනා යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව” යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් පැවසීය.

“අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ඊයේ (09) දින රාත්‍රියේදී යුද්ධ හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව එම පුනරුත්ථාපන මධ්‍යස්ථානය අසළ පිහිටි යුද්ධ හමුදාව මඟින් පාලනය වන කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වහාම ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයන් 500 කට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට හැකි පරිදි එම කඳවුර ක්ෂේත්‍ර (Field) රෝහලක් බවට පරිවර්ථනය කරන ලද අතර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්හි පුනරුත්ථාපනය වන රැඳවියන් අතරින් මේ වනවිට 253 දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් මෙම රෝහල තුළ සිටියි. ඒ අනුව, අද (10) දිනයේදී උදෑසන වනවිට එම මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටි අයවළුන් අතරින් පුද්ගලයින් 196 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට මේ වනවිට තහවුරු කරගෙන ඇති අතර එම කඳවුරේ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 253 ක් වේ. පසුගිය මාස කිහිපය තුළ මොවුන්ගේ දෙමව්පියන් සහ නෑදෑ හිතමිතුරන්ට ඔවුන් මුණගැසීමට අවස්ථාවක් ලබා නොදුන් නමුත් ජුලි මස 04 දින පුනරුත්ථාපනය වන රැඳවියන් බැලීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව ඔවුන්ගේ දෙමව්පියන් සහ නෑදෑ හිතමිතුරන් 116 දෙනෙකුට අවස්ථාව ලබාදෙන ලදී. මේ වනවිට ඔවුන් සියළුදෙනාම හඳුනාගෙන ඇති අතර ඔවුන් සියළුදෙනා නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බව” යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

“වෛරසය සමාජයට සම්ප්‍රේෂණය වීමේ හැකියාව අවම නමුත් PCR පරීක්‍ෂණවලින් පසු ඉදිරි දින කිහිපය තුළ එම මධ්‍යස්ථාන වල සේවය කළ පුද්ගලයින් අතරින් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් හඳුනාගත හැකිය. තවද, එම කඳවුරු තුළ රාජකාරි කරමින් සිට මේ වනවිට නිවාඩු ගොස් සිටි තවත් උපදේශකයින් 8 දෙනෙකු කිසිදු අවදානමකින් හෝ ප්‍රමාදයකින් තොරව නැවත ගෙන්වාගෙන නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇත.”

“සියලුදෙනා සෞඛ්‍යාරක්‍ෂක උපදෙස් දැඩි ලෙස අනුගමනය කළද, වෛරසය ආසාදනය වී සුවය ලැබූ විදේශිය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකීකයන් සිය නිවෙස් කරා ආපසු යන බැවින් මහජනතාව ප්‍රවේශම් විය යුතුය. එමෙන්ම, රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සහ ජනාධිපති මාධ්‍ය ඒකකය සෑමවිටම නිවැරදි තොරතුරු මහජනතාව වෙත ගෙන ඒමට සුදානම් බැවින් අසත්‍ය තොරතුරු හා ව්‍යාජ කටකතා වලින් නොමඟ නොයන ලෙස මම මහජනතාවගෙන් ඉල්ලා සිටිමි” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් තවදුරටත් පැවසීය. (නිමාව) affiliate tracking url | nike air jordan lebron 11 blue eyes black people