Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th May 2020 23:17:08 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක සමාරම්භක අවස්ථාවන්ට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

දේශප්‍රේමී යුධ වීරුවන් සහ ශ්‍රී ලාංකික ජාතියට වටිනා වෘත්තිකයින් බිහිකළ වසර 139 කට අධික ඉතිහාසයකට උරුමකම් කියන කොස්ගම ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සංවත්සර දිනය නිමිත්තෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත එම බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ මඟපෙන්වීම යටතේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායකතුමන්ගේ ආරාධනයකට අනුව සිකුරාදා (29) දින පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ස්වේච්ඡා බලසේනා මුලස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත උපයෝගිතා මධ්‍යස්ථානය, ප්‍රධාන ශාලාව, සීතාවක (Rendezvous Ground) සහ මූලස්ථාන බලඇණි සංකීර්ණයේ උපයෝගිතා මධ්‍යස්ථාන සඳහා මුල් ගල් තබනු ලැබු අතර අභිනවයෙන් ඉදිකළ සෙසු නිලයින්ගේ නව භටනිවාසයක් ඇතුළු ව්‍යාපෘති රැසක් පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් සමීපව නිරීක්‍ෂණය කරනු ලැබිය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන විසින් එතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. උත්සව කටයුතු ආරම්භ කරමින් සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දල්වීමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් මහා සංඝරත්නය වෙත දැහැත් වට්ටියක් පිළිගන්වා ආගමික වතාවත් සිදුකිරීම සඳහා ආරාධනා කරන ලදී. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ සිදුකිරීමට නියමිත නව ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සමරුඵලකය නිරාවරණය කර ආරම්භ කරන ලදී. තවද, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ ක්‍රීඩා පුහුණු සහ හමුදා පුහුණු කටයුතු සඳහා අභිනවයෙන් ඉදිකළ ප්‍රධාන මණ්ඩපය විවෘත කළේය.

ඉන් අනතුරුව, එම මුලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් සෙසුනිලයින් සඳහා ඉදිකළ භටනිවාසය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සමරුඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා විවෘත කරනු ලැබීය. අනතුරුව, එම නවාතැන් සංකීර්ණය නිරික්‍ෂණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ ප්‍රධාන ශාලාවේදී නිලධාරීන් සහ සෙසුනිලයින් අමතනු ලැබීනි. ඉන්පසු ඉදිකරනු ලබන ව්‍යාපෘතින් පිළිබඳ නිරික්‍ෂණ කළ යුද්ධ හමුදාධිපතිතුමන් ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වර්ෂ 2020 පසු’ යන තේමාව යටතේ සිදුකරන ලද සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමකට ද සවන්දිනි. එමගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ අනාගත සංවර්ධන උපාය මාර්ග පිළිබඳ දැනුවත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් විසින් ලබාදෙන උපදෙස් මත එම මුලස්ථානයේ නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් මෙම ව්‍යාපෘති දියත් කරනු ලබයි.

මෙම අවස්ථාවට එක්වූ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය අදහස් දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් ඇතුළු සියලුදෙනාගේ දුරදර්ශි සංවර්ධන සැලැස්ම අගය කළ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් සිය සුබපැතුම් පිරිනැමීය. යුද්ධ හමුදාධිපතිතුමන් සිදුකළ සිය දේශනය අතරතුරදී, මෙරටින් කොවිඩ්-19 වෛරසය තුරන් කිරීම සඳහා සිදුකරනු ලබන සාමූහික ප්‍රයත්නයන්හි වැදගත්කම සහ රටේ ජනජිවිතය යථා තත්ත්වයකට පත් කිරීමේ අවශ්‍යතාව යුද්ධ හමුදාධිපතිතුමන් අවධාරණය කළේය. ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනා සම්මන්ත්‍රණ ශාලාවේදී යුද්ධ හමුදා මාණ්ඩලික නිලධාරීන් සහ යුද්ධ හමුදා අධ්‍යක්‍ෂවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවකදී යුද්ධ හමුදාවේ සංවර්ධන කටයුතු පිළිබඳ විවිධ ප්‍රවේශයන් ඔස්සේ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත යොමු කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව 2020 වර්ෂයෙන් පසු කාර්යභාරය හා පුහුණු සංකල්පය, ප්‍රතිපත්ති හා නියාමන සංශෝධන, ආයතනික හා ව්‍යුහාත්මක සංවර්ධනය, මූලස්ථාන සංකීර්ණය සංවර්ධනය, සේවක සංඛ්‍යාව වැඩිකිරීම හා වෘත්තීය සංවර්ධනය, උපාය මාර්ග වැඩිදියුණු කිරීම සහ යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ගොඩනැගීම යනාදී යෝජිත දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සිදුකළ සංචාරය අවසානයේ, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහයෝගය අගය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් මෙම සංචාරය සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ට විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය. යුද්ධ හමුදාධිපතිතුමන් ස්වේච්ඡා බලසේනා මුලස්ථානයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය.

සෞඛ්‍ය උපදෙස්වලට මුල්තැනක් දෙමින් පැවැති මෙම උත්සවය සඳහා ප්‍රධාන සංඥා නිලධාරී, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, උපකරණ මාස්ටර් ජෙනරාල්, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති, විධායක ජෙනරාල්, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්, භඨකාර්ය සම්පාදන මුලස්ථානයේ ආඥාපති, පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ මාණ්ඩලික නිලධාරින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ කාර්යමණ්ඩල සාමාජිකයින් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. latest Running | Nike, adidas, Converse & More