Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th May 2020 20:06:48 Hours

මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ධූරයට පත් කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක සහ ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යායතනයේ සභාපති මෙන්ම යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස අද (11) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

එතුමන්ගේ ජීවදත්ත තොරතුරු පහතින් දැක්වේ;

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක සහ ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාතනයේ සභාපති මෙන්ම යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව එච්. මුණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී 2020 මැයි මස 11 වන දින සිට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කර ඇත.

වෘත්තියෙන් කීර්තිමත් විකිරණවේදියෙකු වන මේජර් ජෙනරාල් මුණසිංහ වර්ෂ 1984 දී රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් MBBS උපාධිය සම්පූර්ණ කර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික හමුදා පුහුණුව අවසන් කිරීමෙන් පසු මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ කපිතන් තනතුරට පත් කර ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායට ඇතුලත් කරන ලදී.

වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළදී එතුමන් වෙත රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්ලිව්පී), රණ ශූර පදක්කම (ආර්එස්පී), විශිෂ්ඨ සේවා විභූෂන (වීඑස්වී), උත්තම සේවා පදක්කම (යූඑස්පී), නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු හා නැගෙනහිර මෙහෙයුම් පදක්කම, වඩමරච්චි මෙහෙයුම් පදක්කම, රිවිරැස පදක්කම, 50 වන නිදහස් සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන සංවත්සර පදක්කම සහ ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම ඇතුළු පදක්කම් සහ ලාංඡන ගණනාවක් ප්‍රදානය කරන ලදී.

මේජර් ජෙනරාල් මුණසිංහ, MBBS උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව වර්ෂ 1993 ශ්‍රී ලංකාවේදී එම්.ඩී (විකිරණවේදය), වර්ෂ 1994-1995 ඕස්ට්‍රේලියාවේදී ස්නායු විකිරණවේදය හා මැදිහත්වීමේ විකිරණවේදය, වර්ෂ 1999 ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේදී ස්නායු මැදිහත්වීම් විකිරණවේදය, වර්ෂ 2000 ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේදී උසස් සීටී සහ වර්ෂ 2018 ජර්මනියේදී උසස් එම්.ආර්.අයි හදාරා අත්දැකීම් හා සුදුසුකම් සම්පුර්ණ කර ඇත.

එතුමන්ගේ නොකැළැල් වෛද්‍ය වෘත්තිය තුළදී කොළඹ යුද්ධ හමුදා රෝහලේ අණදෙන නිලධාරී, යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ, වෛද්‍ය උපදේශක සහ යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් යන කීර්තිමත් තනතුරු රාශියක් හොබවා ඇත. මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මේ වනවිට ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක ලෙස සේවය කරයි.

වර්ෂ 2014 අප්‍රේල් මස 22 දින සිට බලපැවැත්වෙන පරිදි යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා පළමු අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස ඉතිහාසයට එක් වූ මේජර් ජෙනරාල් මුණසිංහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයට යුද්ධ හමුදාවෙන් බිහිවූ පළමු ලේකම්වරයා ලෙස ද කටයුතු කරයි. මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ බ්‍රිගේඩියර් (වෛද්‍ය) ඩී.ටී.එන් මුණසිංහ සමඟ විවාහ වී ඇති අතර ඔවුන්ට එක් පුතෙකු ද සිටියි. Buy Kicks | nike air force 1 shadow , eBay