Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd March 2020 19:06:44 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිලි සංකීර්ණය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත වෙයි

යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ පනාගොඩ පිහිටි රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය අද (02) දින උදෑසන විවෘත කරන ලදී.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති සහ රෙජිමේන්තු සේනාවිධායක මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් සෙසුනිල භෝජනාගාරයක්, ආපනශාලාවක් සහ දැවැන්ත ශ්‍රවණාගාරයකින් සමන්විත අති නවීන ගොඩනැගිලි සංකීර්ණය චාරිත්‍රානුකූලව විවෘත විය. අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිලි සංකීර්ණයේ සමරුඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා සුබ මොහොතින් එය විවෘත කිරීමෙන් අනතුරුව චාරිත්‍රානුකූල කිරි බදුනක් උතුරවා මෙම අවස්ථාව සංකේතවත් කරනු ලැබීය.

පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ට ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්පාදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් අනුර දිසානායක විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගෙන හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා සරඹ භූමිය වෙත කැටුව යන ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත සිය සුබ පැතුම් පිරිනැමීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් පිරිනමනු ලබන සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිළිගැනීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ට ආරාධනා කරන ලදී. ඉන් අනතුරුව, රෙජිමේන්තු වර්ණ සමගින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මංගල හස්තිරාජයා වන ‘කණ්ඩුල’ හස්තිරාජයා පෙරටු කරගත් වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සමරුඵලකය නිරාවරණය කොට ආසන 1000 කින් සමන්විත ශ්‍රවණාගාරයක්, ආපනශාලාවක් සහ සෙසුනිල භෝජනාගාරයක් ඇතුළු අභිනවයෙන් ඉදිකළ තෙමහල් ගොඩනැගිලි සංකීර්ණයක් ද විවෘත කරන ලදී. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිලි සංකීර්ණය නිරීක්‍ෂණය කර එහි පහසුකම්, තාක්‍ෂණිය අංශ ආදිය පිළිබඳ අදහස් හුවමාරු කරගනු ලැබීය.

මිළඟට සම්ප්‍රදායානුකූලව යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ සියලුම නිලයින් 1200 කට අධික පිරිසක් ඇමතීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමන්, “වසර 138 කට අධික ඉතිහාසයක් ඇති ඔබේ රෙජිමේන්තුව යුද ඉතිහාසයේ මෙන්ම ක්‍රීඩා පිටියේ ද සිය කුසලතා පෙන්නුම් කර ඇත. ඔබගේ නිලධාරීන් සහ රෙජිමේන්තුවේ සෙසුනිලයින් ලෝක ශූරතා හා ඔලිම්පික් උළෙලේ රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගෙන ඇති අතර එය ශ්‍රී ලංකාවට, යුද්ධ හමුදාවට මෙන්ම ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට ගෞරවය සහ කීර්තිය ගෙන දෙයි.”

“යුද්ධ හමුදාවේ වත්මන් යුද්ධ හමුදාධිපති වශයෙන්, ඔබගේ රෙජිමේන්තුවේ පාබල හමුදා වීරයන් යුධ සමයේදී නොසැලෙන ශක්තියෙන් හා ධෛර්යයෙන් යුතුව, “මම සේවය කරමි” යන ඔබේ ආදර්ශ පාඨය පෙරදැරීව කටයුතු කිරීම සඳහා කරන ලද පරාර්ථකාමී දායකත්වය කෘතඥතාවයෙන් සිහිපත් කරමි”.

අඛණ්ඩ රුක් රෝපණ වැඩසටහන් සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය සඳහන් කරමින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙසේ පැවසීය. “මෑතකදී කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් පුරන් වූ කුඹුරු නැවත අස්වැද්දීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදී.  ඒ යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයට අයත් කුඹුරු අක්කර 12 ක් අස්වැද්දන ලදී. තවද, මහජනයාගේ ප්‍රයෝජනය සඳහා ඇවිදීමේ මාර්ගයක් ද ඉදිකරනු ලැබීය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානය හා ගෞරවය ප්‍රදර්ශනය කිරීම සඳහා සන්නද්ධ වාහන සහ කාලතුවක්කු අවි යුද්ධ හමුදා මූලස්ථාන ප්‍රධාන පිවිසුම් දොරටුව අභියස ස්ථානගත කර ඇත.”

“මීට අමතරව, රජයේ හරිත පරිසර සංකල්පය සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ‘තුරු මිතුරු - නව රටක්’ නම් දැවැන්ත රුක් රෝපණ ව්‍යාපෘතියක් දියත් කරන ලදී. මේ අතර, කොළඹ මාර්ග තදබදයට විසඳුමක් ලෙස, ශ්‍රී ලංකා පොලිසිය සහ යුද්ධ හමුදා පොලිසිය මාර්ග තදබදය අඩු කිරීමට පියවර ගනිමින් සිටීයි. මේ හේතුවෙන් දුර බැහැර ප්‍රදේශවලින් කොළඹට ඇතුළු වන දරුවන්ට එය පහසු වනු ඇතැයි මම විශ්වාස කරමි.” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඉහත සඳහන් කළ යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ හා සුභසාධන ව්‍යාපෘති ඔවුන්ගේ රාජකාරියට වඩා වැඩිය. එහෙත්, අනාගතයේදී රටේ සාමය ඇති කිරීම සහ ගැටුම්, විදේශීය මැදිහත්වීම් හෝ වෙනත් තර්ජන වලින් මව්බිම ආරක්‍ෂා කිරීම අපගේ යුතුකම හා වගකීම වේ. ” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

“ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව, නිලධාරීන් 244 ක් සහ සෙසු නිලයන් 7643 ක් උසස් කරනු ලැබුවේ වසර ගණනාවක් තිස්සේ උසස්වීම් නොලැබුණු අයයි. යුද්ධ හමුදා ඉතිහාසයේ මෙතරම් විශාල ප්‍රතිශතයකට උසස්වීම් ලබාදුන් පළමු අවස්ථාව මෙයයි.” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිහිපත් කළේය. මෙම අවස්ථාව සංකේතවත් කරමින් සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිලි සංකීර්ණය ඉදිරිපිට සමුහ ඡායාරූපයක් ගනු ලැබීය. මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් නික්ම යාමට ප්‍රථම, විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි විශේෂ සමරු සටහනක් ද තැබීය.

මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ උත්සවය අවසනයේ යුද්ධ හමුදාධිපතිතුමන්ට විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කල අතර මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු මණ්ඩල සාමාජිකයින් රැසක් සහභාගි වූහ. Running sneakers | Womens Shoes Footwear & Shoes Online