Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th February 2020 17:35:55 Hours

නව උඩරට භාවනා මධ්‍යස්ථානය යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් අතින් විවෘත වෙයි

මහනුවර දිස්‍ත්‍රික්කයේ උඩුදුම්බරට ආසන්නයේ පිහිටි උඩපිටිවල දර්ශනීය කඳුකර භූමිභාගයක ඉදිකරනු ලැබූ නව උඩුදුම්බර ‘සමත විදර්ශනා’ භාවනා මධ්‍යස්ථානය අද (29) දින උදෑසන පැවති ආගමික උත්සවයකදී මහා සංඝරත්නය වෙත භාරදෙනු ලැබූ අතර එම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් ලෙස අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතනාභිධාන නායක ස්වාමින් වහන්සේ, අස්ගිරි මහනායක හිමියන්, අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමින් වහන්සේ, අස්ගිරිය පිරිවෙනේ පිරිවේනාධිපති සහ අස්ගිරි අනුනායක හිමියන් ඇතුළු භික්‍ෂූන් වහන්සේලා රැසක් මෙන්ම ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස් පරික්‍ෂක රොෂාන් ප්‍රනාන්දු ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.

‘බුදු සසුන’ වෙනුවෙන් කරනු ලබන පුණ්‍යමය පරිත්‍යාගයක් වශයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ (විශ්‍රාමික) උප පොලිස් පරික්‍ෂක නිමල් මැදිවක ඇතුළු එතුමන්ගේ පවුලේ සාමාජිකයින් විසින් මෙම භාවනා මධ්‍යස්ථානය වෙනුවෙන් ඔවුන්ගේ පෞද්ගලික ඉඩමක් පරිත්‍යාග කරනු ලැබූ අතර අභිනවයෙන් ඉදිකරනු ලැබූ එකී භාවනා මධ්‍යස්ථානය තුළ භික්‍ෂුන් වහන්සේලාට භාවනා සුවයෙන් පසුවීමට තැනූ විශේෂ කුටි, ආරාම, දාන ශාලාවන් ඇතුළු අනෙකුත් සියළුම පහසුකම් වලින් සමන්විත වී තිබේ.

මෙම භාවනා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාව වෙනුවෙන් සහභාගී වූ ප්‍රධාන නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සහ මෙදින පැවති විශේෂ අවස්ථාවට සහභාගී වූ සම්භාවනීය ආරාධිත අමුත්තන් කුළුන්තැන්න මංසන්ධියේ සිට සාම්ප්‍රදායික ‘වෙස්’ නර්තන ශිල්පීන්ගේ නර්තනයන්ගෙන් විචිත්‍රවත් වූ පෙරහැරකින් නව භාවනා මධ්‍යස්ථානය වෙත කැටුව යනු ලැබූ අතර ඔවුන්ගේ ගමන් මාර්ගයේ පිහිටි විමලධර්ම මහ විද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත නව බුදුකුටිය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට සහ එම ප්‍රදේශයේ වෙසෙන අසරණ පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් එම ප්‍රතිලාභීන් වෙත පැවරීමේ අවස්ථාවට ද එක්වූහ.

පෙරවරු 9.45 ට යෙදුනු සුභ මොහොතින් අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන මහා නායක හිමිපානන් විසින් පීත්ත පටිය කපා ප්‍රධාන භාවනා මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය ප්‍රමුඛ ආරාධිත අමුත්තන් ඉදිරියේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් එහි සමරු ඵලකය නිරාවරණය කරනු ලැබීය. ඉන් පසුව, එහි තිබූ බුදු පිළිමයක් වෙත මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ භික්‍ෂූන් වහන්සේලා විසින් අභිනවයෙන් ඉදිකරනු ලැබූ භාවනා මධ්‍යස්ථානයේ වැඩකටයුතු පිළිබඳ නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත වූහ.

නව භාවනා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම පරිශ්‍රය තුළ රැඳී සිටි කාලය තුළදී ප්‍රධාන නායක භික්‍ෂූන් වහන්සේලා කිහිප නමකගෙන් ආශිර්වාද ලබාගත් අතර එහිදී, රට වෙනුවෙන් ඉදිරියේදී මුහුණදීමට ඇති වගකීම් සහ අභියෝග ජයගැනීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත මහා සංඝරත්නයේ ආශිර්වාදය ද හිමිවිය.

මෙම අවස්ථාව වෙනුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව පාසල්වල බෞද්ධ ඉගැන්වීම් කටයුතු වල නිරත වන නායක භික්ෂූන් වහන්සේලා සහ නිකායන්වල නායක භික්‍ෂූන් වහන්සේලා විශාල පිරිසක් ද සහභාගී වූහ. Running Sneakers | nike fashion